රඳවා තබා ගැනීමේ බදු ඉවත් කිරීම පිළිබඳ නිවේදනයක්

රඳවා තබා ගැනීමේ බදු ඉවත් කිරීම පිළිබඳ නිවේදනයක්

මුදල් අමාත්‍යාංශය විසින් 2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත වෙත ඉදිරිපත් කර ඇති සංශෝධන අනුව, මෙරට පදිංචිව සිටින පුද්ගලයෙකුට සිදු කළ ඕනෑම ගෙවීමක (බැංකු පොලිය හෝ ලාභාංශ මත) මෙතෙක් අය කරගත් රඳවා තබා ගැනීමේ බද්ද (WHT – Withholding tax)2020 ජනවාරි 01 වැනිදා සිට අහෝසි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2020 ජනවාරි 01 වැනිදා දිනයෙන් පසු සිදු කරන ගෙවීමක් සම්බන්ධයෙන් කිසිදු රඳවා තබා ගැනීමේ බදු නියෝජිතයෙකු හෝ සේවායෝජකයෙකු මෙම රඳවා තබා ගැනීමේ බදු අය නොකළ යුතු බව දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.

එසේම 2020 ජනවාරි 01 වැනිදාට පසුව මෙම රඳවා තබා ගැනීමේ බද්දක් අය කෙරුණේ නම් අදාළ පුද්ගලයාට (සේවකයන්, තැන්පතු හිමිකරුවන්ට හෝ වෙනත් පුද්ගලයන්ට) එම අය කරගත් මුදල් ආපසු ලබා දෙන ලෙසද දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් තවත් ගෙවීම් කිහිපයක් සඳහා වන රඳවා තබා ගැනීමේ බදු ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ සඳහන් වෙයි. 

ඒ අනුව, යම් ලොතරැයි දිනුම් ඇදීමකින්, ප්‍රදානයකින්, ඔට්ටු ඇල්ලීමකින් හෝ සූදුවකින් ජයග්‍රහණය කරන මුදලක් වෙනුවෙන් 14%ක රඳවා තබා ගැනීමේ බද්දක් අදාළ පුද්ගලයා ගෙවිය යුතුය.

එසේම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන වෙන්දේසියකදී යම් කිසි වටිනා මැණිකක් අලෙවි කිරීමකදී 2.5%ක රඳවා තබා ගැනීමේ බද්දක් අය කර ගැනේ.

මීට අමතරව මෙම සංශෝධිත පනත් කෙටුම්පතේ අංක 84 සහ 85 යටතේ මෙරට පදිංචිව නොමැති පුද්ගලයෙකුට සිදුකරන ගෙවීමක්ද මෙම රඳවා තබා ගැනීමේ බද්දට යටත් වෙයි.

මෙම රඳවා තබා ගැනීමේ බදු පිළිබඳ වැඩිදුරට පැහැදිලි කරගැනීම් සඳහා ක්ෂණික ඇමතුම් අංක 1944 හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අමතන ලෙසද එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Visits: 83

Leave a Reply

Your email address will not be published. Required fields are marked *