පේටන්ට් බලපත්‍රය මාසයක් ඇතුළත ලබාදීමේ හැකියාව සොයා බලයි

පේටන්ට් බලපත්‍රය මාසයක් ඇතුළත ලබාදීමේ හැකියාව සොයා බලයි

මෙරට නව නිර්මාණකරුවන්ට සිය නිර්මාණ සහ නිෂ්පාදන වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේදී මාසයක කාලයක් ඇතුළත එම බලපත්‍ර නිකුත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා යෝජනා කර තිබේ.

උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ කර්මාන්තකරුවන් සහ ව්‍යවාසයකයන් පිරිසක් සමගින් පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

දැනට මෙම පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වීම මෙම නව නිර්මාණකරුවන්ට ඉදිරි කටයුතු කරගෙන යාම ගැටලුවක් වී ඇතැයි ඔහු මෙහිදී පෙන්වා දී ඇත. ඊට ප්‍රතිචාර දක්වා ඇති අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අදාළ නිලධාරීන් හැකි ඉක්මණින් එය ඉටු කර දෙන බවට පොරොන්දු වූ බවත් සඳහන් වෙයි.

මේ අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධ කිරීමට වැඩමුළු සහ ප්‍රදර්ශනයක් පැවැත්වීමටද මෙහිදී යෝජනා වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත හා සැපයුම් කළමනාකණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු එක්ව ඇත.

Visits: 52

Leave a Reply

Your email address will not be published. Required fields are marked *