පළතුරු ආශ්‍රිත නිෂ්පාදන සැපයුම් කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඩෙන්මාර්ක ආයෝජනයක්

පළතුරු ආශ්‍රිත නිෂ්පාදන සැපයුම් කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඩෙන්මාර්ක ආයෝජනයක් 

පළතුරු ආශ්‍රිත සැපයුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීම සදහා ඩෙන්මාර්ක ආයෝජකයෙකු වෙත පන්නල කාර්මික ජනපදයෙන් අක්කර දෙකක ඉඩම් කොටසක් ලබා දීමට රජයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම යෝජිත ව්‍යාපෘතියේ පළමු අදියරේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1.5 කි. ඒ හරහා බිහි වෙතැයි අපේක්ෂිත රැකියා සංඛ්‍යාව 30කි.

ඩෙන්මාර්කයේ පිහිටි ORANA නම් කිරි ආශ්‍රිත බීම වර්ග සඳහා සහ බේකරි නිෂ්පාදනකයන්ට අවශ්‍ය පරිදි සකස් කළ පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන ලොව විශාලතම සැපයුම්කරුවෙකු ලෙස මෙම ආයෝජකයා හඳුනාගෙන ඇත. මෙම සමාගම සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අතර මේ පිළිබඳව ගිවිසුමකටද එළැඹ තිබේ. 

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ORANA සමාගම සිය කර්මාන්තශාලාව ස්ථාපිත කිරීමට පන්නල කාර්මික ජනපදයෙන් අක්කර දෙකක භූමියක් සඳහා ඉල්ලුම් කර තිබී ඇත. එහිදී අදාළ සමාගම වෙත එම බිම් ප්‍රමාණය ලබා දීම සඳහා වන යෝජනාව කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම පළතුරු ආශ්‍රිත සැපයුම් ක්ෂේත්‍රයේ වසර 80 කට අධික කාලයක අත්දැකීම් සහිත ORANA සමාගම, තිරසාර ක්‍රමවේද අනුගමනය කරමින් සිය නිෂ්පාදන සිදු කරන බව පවසයි. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස නැවැත්වීම සඳහා 2015 වසරේදී ලෝක රාජ්‍ය නායකයන් එකඟවූ පැරිස් සම්මුතියට අනුව තම සමාගම ක්‍රියා කරන බව ඔවුන් අවධාරණය කර තිබේ. 

එසේම තමන් සතු ලෝක ව්‍යාප්ත නිෂ්පාදන සැපයුම් ජාලය හේතුවෙන් අද වනවිට සිය අමුද්‍රව්‍ය ලොව පුරා ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන මුල් පෙළේ සන්නාමවලින් යුත් පාන, කිරි සහ බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා බවත් සමාගමේ වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

අද වන විට ඩෙන්මාර්කයට අමතරව කැනඩාව, ඊජිප්තුව, කෙන්යාව, ඩුබායි, ඉන්දියාව, ශ්‍රී ලංකාව, වියෙට්නාමය, මැලේසියාව සහ චීනය යන රටවල සිය කාර්යාල හෝ නිෂ්පාදන පරිශ්‍ර පිහිටුවා ඇතැයිද එම සමාගම සඳහන් කරයි.

Visits: 55

Leave a Reply

Your email address will not be published. Required fields are marked *