කොළඹ වරායට CCTV කැමරා සවි කිරීමට යයි

කොළඹ වරායට CCTV කැමරා සවි කිරීමට යයි

සමස්ත කොළඹ වරාය පරිශ්‍රයම ආවරණය වන පරිදි නව අනුකලන ආරක්ෂක කැමරා පද්ධතියක් (CCTV) ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි. 

මෙම කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණ ඇගයීම් කමිටුවක් පත් කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා එම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඊට අදාළ නිවේදනය අද පෙරවරුවේදී නිකුත් කෙරුණු කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී ප්‍රසිද්ධියට පත් කෙරිණි.

ඒ අනුව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළු වන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත, විවිධ ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් සහ වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි මෙම පද්ධතිය සවි කෙරෙන බව රජය පවසයි. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකරන ලද යෝජනාවකට අනුව මෙම කටයුතු සිදුවන බවද සඳහන් වෙයි. මෙහිදී එම පද්ධතිය මගින් අදාළ ස්ථානවල සිදුවන සියලුම ක්‍රියාකාරකම් නිරීක්ෂණය වීම, අධීක්ෂණය වීම හා පටිගත වීම සිදු වන බව වරාය අධිකාරිය පවසයි.

එමගින් කොළඹ වරායේ ආරක්ෂාව වඩාත් තහවුරුවීම, ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහල යාම සහ කොළඹ වරායේ වාණිජමය කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වීම සිදු වන බවද එම වරාය අධිකාරියේ අදහස වී තිබේ.

Visits: 44

Leave a Reply

Your email address will not be published. Required fields are marked *