ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් වාර අඩු කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් වාර අඩු කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් චීනයේ නගර කිහිපයක් වෙත සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව තාවකාලිකව අඩු කිරීමට තීරණය කර ඇතැයි පවසයි. 

සිය දිගුකාලීන වාණිජ ප්‍රතිපත්ති මත සහ වර්තමාන වෙළෙඳ පොළ තත්ත්වයන්ට අනුකූලව මෙලෙස සිය සේවාවන් සංශෝධනය කෙරෙන බව ගුවන් සමාගම නිවේදනයක් මගින් දන්වා සිටියි.

විශේෂයෙන්ම චීනය තුළ නව කොරොනා වෛරසයේ ව්‍යාප්තවීමත් සමග විදේශ ගත වන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවීමත්,වර්තමාන මගී ඉල්ලුමත් අනුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

“ඉල්ලුම පහත වැටීම නිසා බොහෝ ගුවන් සමාගම් මේ වනවිටත් චීනය වෙත ගුවන් ගමන් වාර අඩු කර තිබේ. ඊට හේතු වී ඇත්තේ චීන රජය එරට පුරවැසියන්ගේ විදේශ සංචාර සඳහා සීමාවන් පැනවීමයි. එසේම කොළඹ සහ චීනයේ නගර කිහිපයක් අතර ක්‍රියාත්මක වන චීන ගුවන් සමාගම් හතරක්ද මෙලෙස සිය ගුවන් මෙහෙයුම් සීමා කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඒ අනුව 2020 පෙබරවාරි 06 වැනිදා සිට 2020 මාර්තු 28 වැනිදා දක්වා මෙම ගුවන් ගමන් අඩු කිරීම සිදු කෙරෙන බව එම සමාගම පවසයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වනවිට චීනයේ බීජිං, ෂිංහයි සහ කැන්ටන් යන නගර තුනකට සේවා සැපයීම සිදු කරයි. 

ඒ අනුව බීජිං වෙත සිදුකරන සතිපතා ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත්, ෂැංහයි වෙත ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත් සහ කැන්ටන් වෙත ගුවන් ගමන් වාර 7 සිට 3 දක්වාත් අඩු කිරීමට තීරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙලෙස චීනයේ මෙහෙයුම්වලින් ඉවත් කරන ගුවන් යානා කොළඹ – අබුඩාබි වෙත පුළුල් බඳ සහිත ගුවන් යානා මෙහෙයුම් ඉහළ නැංවීම සහ අනෙකුත් කලාපවල ධාරිතාව ඉහළ නැංවීම සඳහා යොදවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. එසේම තවත් ගුවන් යානා කිහිපයක් නියමිත නඩත්තු කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා යොදා ගැනීම සැලසුම වී තිබේ.අද වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 51ක නගර 116ක් වෙත මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් ලෙස වන්වර්ල්ඩ් පාර්ශ්ව ගුවන් සේවා 13ක් හරහා රටවල් 180ක ගමනාන්ත 1000ක් දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට හිමිව ඇතැයි එම සමාගම පවසයි.

Visits: 37

Leave a Reply

Your email address will not be published. Required fields are marked *