ගොවි නිෂ්පාදන අලෙවිය පහසු කරන “ගොවිපොළ” ඇප් වැඩසටහන

ගොවි නිෂ්පාදන අලෙවිය පහසු කරන “ගොවිපොළ” ඇප් වැඩසටහන

මෙරට කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමේ වැඩසටහන (TAMAP) යටතේ ඉදිරිපත් කරන ලද “ගොවිපොළ” ඇප් වැඩසටහන පසුගියදා කොළඹදී දියත් කෙරී ඇත. කෘෂිකර්මාන්තය සඳහා වෙළෙඳ පොළක් සහ වෙළෙඳ පොළ තොරතුරු පද්ධතියක් ලෙස මෙය දියුණු කරන ලද බව එහි නිර්මාණකරුවෝ පවසති.

ශ්‍රී ලාංකේය සමාගමක් වන Croptronix නම් සමාගම මෙම ඩිජිටල් ගොවිපොළ දියත් කර තිබේ. අන්තර්ජාලය හරහා කෘෂි තාක්ෂණික අවශ්‍යතා සපුරන්නෙකු ලෙස මෙය ආරම්භ කර ඇත. එහිදී පුවත්පත් දැන්වීම් ස්වරූපයෙන් ලියන ලද තොරතුරු පදනම් කරගනිමින් එය සකසා තිබේ. මේ වනවිට එම වැඩසටහනෙහි ඩවුන්ලෝඩ් ප්‍රමාණය 15,000 ඉක්මවා ඇතැයිද එම සමාගම පවසයි.

මෙම ඩිජිටල් යෙදවුම මගින් තත්කාලීන වෙළෙඳ පොළ දත්ත පදනම් කරගනිමින් සිය නිෂ්පාදන  අලෙවි කිරීමට ගොවීන්ට සහාය ලබා දෙයි. එසේම මෙහි ඇති search filters සහ notification වැනි වැඩිදියුණු කළ පහසුකම් මගින් භාණ්ඩ මිලදී ගන්නන්ට භාණ්ඩ සොයා ගැනිමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම මෙන්ම, සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් පහසුවෙන් සම්බන්ධ කිරීමත් සිදු වෙයි. 

යුරෝපා සංගමයේ ප්‍රතිපාදන යටතේ Ecorys Nederland BV උපදේශන සමාගම විසින් මෙම “කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමේ වැඩසටහන” ක්‍රියාත්මක කර තිබේ. මෙම වැඩසටහන ශ්‍රී ලංකා රජයට තිරසාර හා ඵලදායී කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීම සඳහා සහාය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නක් බව යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ සහයෝගිතා අංශ ප්‍රධානී ෆ්‍රෑන්ක් හෙස් මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා කොළඹදී පැවැති Improved Market Information System for Agriculture in Sri Lanka නම් වැඩමුළුවේදී මෙම “ගොවිපොළ ඇප් වැඩසටහන නිල වශයෙන් දියත් කෙරී ඇත.

මෙම යෙදවුමේ ඇති සරල ක්‍රමවේද මගින් ගොවීන්ට ඍජුවම අපනයනකරුවෙකු, වෙළෙන්දෙකු හෝ පාරිභෝගිකයෙකු සමග සම්බන්ධ විය හැකි බවද එහි නිර්මාණකරුවෝ පවසති.

මෙහිදී අදහස් දක්වා ඇති යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ සහයෝගිතා අංශ ප්‍රධානී ෆ්‍රෑන්ක් හෙස් මහතා, මෙම ගොවිපොළ ඇප් වැඩසටහන හරහා ගොවීන්ට සිය නිෂ්පාදන ඍජුවම ගැනුම්කරුවන්ට අලෙවි කිරීමට හොඳ අවස්ථාවක් උදා වීමත්, නිරන්තරයෙන් අලුත් වන වෙළෙඳ පොළ තොරතුරු ඉක්මණින් ලබා ගැනීමට තියෙන පහසුකමත් නිසා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන කෘෂිකාර්මික සංවර්ධන ඉලක්ක ලඟා කර ගැනීමට මෙය මනා පිටිවහලක් වෙනු ඇතැයි පවසා තිබේ.

Visits: 57

Leave a Reply

Your email address will not be published. Required fields are marked *