MAS හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක ධුරයට සුරේන් ප්‍රනාන්දු

MAS හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක ධුරයට සුරේන් ප්‍රනාන්දු

දකුණු ආසියාවේ විශාලතම නිමි ඇඳුම් නිෂ්පාදකයා ලෙස සැලකෙන MAS හෝල්ඩිංග්ස් හි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සුරේන් ප්‍රනාන්දු මහතා පසුගිය ජනවාරි 01 වැනිදා සිට වැඩ භාරගත් බව එම සමාගම පවසයි. 

ඊට පෙර ඔහු MAS Intimates හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ. සුරේන් ප්‍රනාන්දු මහතාට MAS හෝල්ඩිංග්ස් සමාගම තුළ වසර 20කට වැඩි කාලයක අත්දැකීම් සහිත බවද පැවසෙයි. 

එසේම Amalean පවුලේ Mahesh, Ajay, Sharad (MAS) එක්ව බිහි කළ MAS හෝල්ඩිංග්ස් සමාගම සිය වසර 33ක ව්‍යාපාරික ඉතිහාසය තුළ එම පවුලෙන් පිටස්තර පුද්ගලයෙකු ප්‍රධාන විධායක නිලධාරී  ධුරය සඳහා පත් වූ පළමු අවස්ථාවද මෙය වී තිබේ.

මෙම නව පත් කිරීම පිළිබඳව අදහස් දක්වා ඇති MAS හෝල්ඩිංග්ස්හි සම නිර්මාතෘ සහ වර්තමාන සභාපති මහේෂ් අමලීන් මහතා, සමාගමේ සිදු කළ මෙම නායකත්ව හුවමාරුව MAS හි නව යුගයක් ආරම්භ කිරීමක් බව  පවසා තිබේ.

මේ අතර, සිය ප්‍රධාන විධායක ධුරය යටතේ MAS හි ප්‍රධාන ඇගලුම් ව්‍යපාරය තුළ නව වෙනස්කම් රැසක්ම සිදු කිරීමට බලාපොරොත්තු වන බව සුරේන් ප්‍රනාන්දු මහතාද පවසා ඇත.

MAS Intimates හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කරද්දී ඔහු ශ්‍රී ලංකාව,  ඉන්දියාව, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාවේ පිහිටි MAS හෝල්ඩිංග්ස් සමාගමට අයත් කර්මාන්තශාලා 14කට ආසන්න ප්‍රමාණයක් තුළ 34,000 කට අධික සේවක පිරිසකට නායකත්වය ලබා දුන් බව සඳහන් වෙයි.

අද වනවිට MAS හෝල්ඩිංග්ස් සමාගම ලොව රටවල් 16ක් පුරා ව්‍යාප්තවීමට සමත්ව සිටියි. ලොව පුරා සිටින එහි සමස්ත සේවකයන් සංඛ්‍යාව 99,000 කට අධික බවත් පැවසෙයි. 2018 වසරේදී සමාගමේ ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක් ලෙස සටහන් වෙයි. MAS හෝල්ඩිංග්ස් සමාගම මෙරට ආර්ථිකය වෙතද ඉහළ දායකත්වයක් ලබා දී තිබෙන අතර, පිට පිට වසර දෙකක්ම ඔවුන් මෙරට හොඳම අපනයනකරුවාට හිමි ජනාධිපති සම්මානය දිනා ගැනීමට සමත්ව සිටියි.

Visits: 97

Leave a Reply

Your email address will not be published. Required fields are marked *