පැයෙන් යාපනේ යන්න Fits air කොළඹ යාපනය ගුවන් සේවාව අද සිට

පැයෙන් යාපනේ යන්න Fits air කොළඹ යාපනය ගුවන් සේවාව අද සිට

රත්මලාන ගුවන් තොටුපොළේ සිට යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා පෞද්ගලික ගුවන් සේවාවක් අද ඇරඹිණි. මෙරට සුප්‍රසිද්ධ පෞද්ගලික ගුවන් සමාගමක් වන Fits Aviation (Pvt) Ltd සමාගමේ Fits air ගුවන් සේවය මගින් මෙම අවස්ථාව ලබා දී තිබේ.

මෙහිදී එම සමාගම සිය ගුවන් යානා ඇණියට අයත් ATR72 වර්ගයේ මගීන් 70 දෙනෙකු එකවර ගෙනයා හැකි ගුවන් යානයක් මෙම සේවාව සඳහා යොදවා තිබේ. 

මෙලෙස මගීන් 70 දෙනෙකුට එකවර යා හැකි යානයක් කොළඹ හා යාපනය අතර ගුවන් සේවාව සඳහා එක් කෙරී ඇත්තේද පළමුවරටයි. මීට පෙර මගීන් 12 දෙනෙකු පමණක් යා හැකි කුඩා ගුවන් යානා කොළඹ – යාපනය දක්වා ගුවන් සේවා වෙත යොදවා තිබුණි. එසේම මෙවැනි යානයක් නියමිත කාලසටහනකට අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදවන මෙරට පළමු අවස්ථාව මෙය බවද පැවසෙයි.

ඒ අනුව සෑම සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනකම ක්‍රියාත්මක වන මෙම කොළඹ – යාපනය ගුවන් සේවාව පෙරවරු 7.30ට ආරම්භ වෙයි. පැයකට ආසන්න ගුවන් ගමනකින් පසුව මෙම යානය පෙරවරු 8.30ට එය යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වීමට නියමිතය. යළිත් පෙරවරු 9.30ට ඉන් පිටත්වන යානය කොළඹ බලා පිටත් වන බව රත්මලාන ගුවන් තොටුපොළේ ප්‍රධාන ගුවන් තොටුපොළ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පවසයි.

“අද පෙරවරුවේදී යාපනයේ සිට චෙන්නායි දක්වා පියාසර කරන ගුවන් යානයක් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දියත් කෙරෙනවා. එය ඉලක්ක කරගෙන තමයි අද මෙම අභ්‍යන්තර ගුවන් සේවය ආරම්භ කෙරෙන්නේ.” රාජපක්ෂ මහතා පවසයි.

මෙහිදී කොළඹ හා යාපනයට අතර එක් ගුවන් පියාසරියක් (යාමට පමණක්) සඳහා එක් මගියෙකුගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 7,500 කි. ඒ අනුව යාපනයට ගොස් නැවත කොළඹ පැමිණීම සඳහා මගියෙකුගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 15,000 ක් බව Fits air ෆේස්බුක් අඩවිය පවසයි. 

එසේම එක් මගියෙකුට ගාස්තුවකින් තොරව රැගෙන යා හැකි ගමන් මලුවල බර කිලෝග්‍රෑම් 7 කි. අමතර පළමු කිලෝග්‍රෑම් 20ක් සඳහා රුපියල් 750ක මුදලක්ද, ඊට අමතර සෑම කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 100 බැගින් අය කෙරෙන බවත් සමාගම පවසයි. 

කෙසේ වෙතත් කොළඹ – යාපනය ගුවන් සේවා ක්‍රියාත්මක වුණු කාලයේදී එක් මගියෙකුගෙන් යාමට සහ ඒමට අය කළ ගාස්තුව රුපියල් 33,000ක් පමණ වූ බව රත්මලාන ගුවන් තොටුපොළේ ප්‍රධාන ගුවන් තොටුපොළ කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් දියුණු කිරීමේ වර්තමාන රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම අවස්ථාව එම ගුවන් සමාගමට ලබා දුන් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

2002 – 2004 කාලසීමාවේදී ක්‍රියාත්මක වූ සටන්විරාමය අවස්ථාවේදී කොළඹ සහ යාපනය අතර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරිණි. එහෙත් පසුව ඇති වුණු යුද සමයේදී ලයන් එයාර් ගුවන් සමාගමට අයත් යානයක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මිසයිල ප්‍රහාරයකින් කඩා වැටීමේ සිදුවීමත් සමගම එම සේවා නවතා දැමුණි.

එහෙත් 2009 යුද ජයග්‍රහණයෙන් පසුව ගුවන් හමුදාවේ මැදිහත්වීම අනුව කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ වුවද එය එතරම් ජනතාව අතර ජනප්‍රිය නොවුණි. කොළඹ යාපනය A9 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත වීම ඊට හේතු වුණු බව හඳුනා ගැනුණි. එසේම මේ වනවිට කොළඹ යාපනය දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත් මේ වනවිට සංචාරක කර්මාන්තය සහ ව්‍යාපාරික අරමුණු මූලික කරගනිමින් කොළඹ යාපනය අතර මෙන්ම මඩකලපුව, මත්තල, කටුනායක යන ප්‍රධාන ගුවන් තොටුපොළ ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පැවතීමේ ලකුණු පෙන්නුම් කිරීම ආරම්භය ලෙස කොළඹ යාපනය ගුවන් සේවා ඇරඹීමට අවස්ථාව ලබාදීමට හේතු වූ බවද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

1997 වසරේදී ආරම්භ කෙරුණු මෙම Fits air ගුවන් සේවාව මුලදී Expo Air ලෙස හැඳින්වුණි. එතෙක් ගුවන් සේවය අයත්ව තිබූ එක්ස්පෝ ලංකා ගෘප් සමාගමෙන් එය ඉවත් කර වෙනම සමාගමක් ලෙස පිහිටුවීම ඊට හේතු විය. ඔවුන් ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදු කිරීම සඳහා වන සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රය සහිත ප්‍රථම සහ එකම ගුවන් සේවය බවටත් පත්ව ඇත. 

අද වන විට ගුවන් යානා පහකින් සමන්විත මෙම Fits air ගුවන් සේවය මගින් කාලසටහනකට අනුව සිදුකරන සහ විශේෂිත අභ්‍යන්තර ගුවන් ගමන් මෙන්ම ඉන්දියාව වෙතද විශේෂිත ගුවන් ගමන් වාර සිදු කරයි. එසේම මැදපෙරදිග, ආසියාවේ සහ අප්‍රිකාවේ නගර කිහිපයක් වෙත ඔවුන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා සිදු කරයි.

Visits: 63

Leave a Reply

Your email address will not be published. Required fields are marked *