පසුගිය වසරේ මෙරට මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 16.1ක්

පසුගිය වසරේ මෙරට මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 16.1ක් 

2019 වසරේදී ශ්‍රී ලංකාව ලැබූ මුළු අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 16.1ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වාර්තා අනාවරණය කරයි. ඒ අනුව මෙය 2018 වසරට අනුරූපව 1.5% ක මන්දගාමී වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. 

මෙහිදී භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 11.9ක අගයක් ගෙන ඇත. එහෙත් එම වර්ධනය 2018ට අනුරූපව සැලකිය යුතු මට්ටමින් සිදුව නොමැති බව එම මණ්ඩලය පවසයි. භාණ්ඩ යටතේ වැඩිම ආදායමක් ලබා ගෙන ඇත්තේ ඇගලුම් අපනයනයයි. සේවා අපනයනය ඩොලර් බිලියන 4.2ක අගයක් වාර්තා කර ඇති අතර එය 5% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

කෙසේ වෙතත් මෙම වසරේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 18.5ක සංශෝධිත ඉලක්කයක් ලෙස සටහන් කර තිබුණු බවත්, මෙම ප්‍රතිඵලය එම ඉලක්කයෙන් 87%ක අගයක් පෙන්නුම් කරන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසා සිටියි.

පසුගිය වසරේ සිදුකළ මෙම අපනයන අතරින් තනි රටක් වෙත සිදු කළ අපනයන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය වෙත වැඩිම අපනයන ප්‍රමාණයක් සිදුකර ඇත. එහි වටිනාකම ඩොලර් මිලියන 3139 කි. එය මුළු අපනයන ආදායමෙන් 26.37 කි. එක්සත් රාජධානිය වෙත ඩොලර් මිලියන 998ක අපනයන සිදු කර ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 8.38% කි. තෙවැනි ස්ථානයේ ඉන්දියාව පවතින අතර එම අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 759 කි. අනතුරුව ජර්මනියට සහ ඉතාලියට පිළිවෙලින් ඩොලර් මිලියන 646 සහ 531 බැගින් වටිනා අපනයන සිදු කර තිබේ.

කෙසේ වෙතත් දකුණු ආසියාවේ අනෙකුත් රටවල් සමග සැසඳීමේදී පසුගිය වර්ෂයේ මෙරට අපනයනයන්හි ක්‍රියාකාරීත්වය අසතුටුදායක බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 

දත්ත වාර්තා අනුව 2019 වසරේදී ඉන්දියාව ඩොලර් බිලියන 323ක්, සිංගප්පූරුව ඩොලර් බිලියන 441ක්, වියට්නාමය ඩොලර් බිලියන 242ක් සහ තායිලන්තය ඩොලර් බිලියන 249ක් ලෙස සිය අපනයන ආදායම් වාර්තා කර තිබේ.

එහෙත් 2019 වසරේ අපගේ මුළු අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 22%ක් වන බවත්, ආසියාවේ අනෙකුත් රටවල් අතරින් ගත් විට වියට්නාමයේ මෙය 105%ක්, තායිලන්තයේ 67%ක් සහ සිංගප්පූරුවේ 76%ක් ලෙස සටහන් වන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 72

Leave a Reply

Your email address will not be published. Required fields are marked *