මෙරට මූලික සන්නිවේදන අවශ්‍යතා හෝ සපුරා නොමැති ප්‍රදේශ හඳුනාගැනීමේ TRC මෙහෙයුමක්

මෙරට මූලික සන්නිවේදන අවශ්‍යතා හෝ සපුරා නොමැති ප්‍රදේශ හඳුනාගැනීමේ TRC මෙහෙයුමක්

සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් සපුරාලීම සඳහා මූලික සන්නිවේදන අවශ්‍යතා හෝ සපුරා නොමැති ප්‍රදේශ හඳුනා ගැනීමේ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) පවසයි.

“ගමට සන්නිවේදනය” ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වාදී තිබේ. මෙහිදී කොමිෂන් සභාවේ තාක්ෂණික නිලධාරීන්, ගමින් ගමට ගොස් එම ගම්මානවල වෙසෙන ජනතාවට අවශ්‍ය අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ලබාදීම වෙනුවෙන් දැනට පවතින සන්නිවේදන දුෂ්කරතා පිළිබඳව සොයා බැලීම සහ හඳුනාගැනීම සිදු කරයි.

කොමිෂන් සභාව සතු ජංගම නිරීක්ෂණ රථයක් යොදා ගනිමින් එම නිලධාරීන් මෙම සන්නිවේදන ගැටලු සොයා බැලීම සිදු කරයි. එහිදී  මෙතෙක් ඒ සඳහා භාවිත කළ රථයට වඩා දුෂ්කර ප්‍රදේශවලට ගමන් කළ හැකි ආකාරයේ රථයක් මීට යොදා ගන්නා බව “ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා” මේ පිළිබදව සිදු කළ විමසීමකදී එම කොමිෂන් සභාවේ ප්‍රකාශයෙකු පවසා සිටියේය. 

මෙම ප්‍රදේශ හඳුනාගැනීමෙන් අනතුරුව මෙරට ජංගම දුරකතන සේවා සපයන සමාගම් වෙත එම තොරතුරු ලබා දී ඔවුන් හරහා එම ජනතාව වෙත අවශ්‍ය  බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් ලබා දීම වෙනුවෙන් මැදිහත්වීම  කොමිෂන් සභාවේ අරමුණ වී තිබේ.

“ශ්‍රී ලංකාවේ භූවිෂමතාව අනුව යම් යම් ස්ථානවල දුරකතන සන්නිවේදන ගැටලු පවතිනවා. දුරකතන සේවා සපයන සමාගම් යම් ප්‍රදේශයකට තමන්ගේ පහසුකම් සලසන්නේ එහි සිටින සිය පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය පාදක කරගෙනයි. මෙතැනදී සියලුම දුරකතන සේවා සපයන්නන්ගේ සේවාව නැති වුණත් එක් සේවාවක් හෝ මෙම හඳුනාගත් ප්‍රදේශවල ජනතාව වෙත ලබා දීම අපේක්ෂාවයි.” ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී අදාළ ගම්මානවල කොපමණ පිරිසක් ජීවත් වන්නේද යන්න පිළිබඳ තොරතුරු ග්‍රාමසේවක නිලධාරීන් හරහා ලබා ගැනීමද සිදු කරයි.

“සන්නිවේදන සමාගම් බොහෝමයක් කැමති නගරබදව තමන්ගේ සේවාව ලබා දෙන්න. මොකද පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් ඉන්න නිසා. ඒත් මේ ගම්මානවල වෙසෙන ජනතාවටත් අවශ්‍ය සන්නිවේදන පහසුකම් ලබා දෙන්න තමයි විදුලි සංදේශ කොමිෂන් සභාව විදියට අපි මේ සඳහා මැදිහත් වෙන්නේ.” ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේය.

Visits: 115

Leave a Reply

Your email address will not be published. Required fields are marked *