සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ජාතික සැලැස්මක් කෙටුම්පත් කෙරේ…

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ජාතික සැලැස්මක් කෙටුම්පත් කිරීම ආරම්භ කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 

මධ්‍යම රජය සහ පළාත් සභා ඒකාබද්ධව මෙම ජාතික සැලැස්ම කෙටුම්පත් කරන බව අමාත්‍යාංශය සදහන් කරයි. 

මෙම සැලැස්ම සැකසීම සදහා වූ පළමු සමුළුව පසුගියදා කොළඹදී පැවැත්වී ඇත. 

සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුව සදහා සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, උතුරු මැද ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ, ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ යන මහත්වරු සමග එම පළාත්වල ප්‍රධාන ලේකම්වරුන් සහ සංචාරක අමාත්‍යාංශ නිලධාරීන්ද එක්ව සිට ඇත.

ඒ අනුව පළාත් සභා මට්ටමින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහා වන යෝජනා සති 02ක් තුළ ඉදිරිපත් කරන ලෙස සංචාරක අමාත්‍යවරයා සියලු ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලා තිබේ. 

එසේම එම පළාත් සභා යටතේ පවතින ප්‍රධාන සංචාරක නගර, සංචාරක ස්ථාන දියුණු කිරීම සදහා වන යෝජනාද මේ ජාතික සැලැස්මට ඇතුළත් කළ යුතු බවද අමාත්‍යවරයා පවසා ඇත.

ස්වභාවික සෞන්දර්යයට අමතරව සංචාරක ප්‍රවර්ධන අරමුණු කරගත් නව ක්ෂේත්‍ර මෙම ජාතික සැලැස්මට එකතු කර ගැනීමත් අරමුණකි. 

ඒ අනුව විනෝදාස්වාදනය පදනම් කරගත් උද්‍යාන, ජල ක්‍රීඩා තටාංගන, ඩොල්ෆින් නැරඹුම් ස්ථාන, කේබල් කාර් වැනි සංචාරකයන් ආකර්ෂණය කරගනු ලබන ස්ථාන නිර්මාණය කිරීමද අපේක්ෂාවකි.

එසේම කොළඹ හා හම්බන්තොට කේන්ද්‍ර කරගෙන ව්‍යාපාරික ප්‍රදර්ශන, සමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම සදහා සංචාරකයන් ආකර්ෂණය කරගැනීමත් අපේක්ෂාව වී ඇත. 

එමෙන්ම කොළඹ හා හම්බන්තොට ගුවන් තොටුපොළවල ආගමන ක්‍රියාවලිය කාර්යක්ෂම කර අභ්‍යන්තර ගුවන් සේවාවන්ද දියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. 

මීට අමතරව අන්තර්ජාලය හරහා හෝටල් වෙන් කිරීම, ප්‍රවාහන පහසුකම් හා මාර්ගෝපදේශකයන් වෙන් කර ගැනීම, අභ්‍යන්තර ගුවන් ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි වන පරිදි නව තාක්ෂණය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදයා යොගැනීමටද මෙම කෙටුම්පත හරහා සැලසුම් කෙරී ඇත.

Visits: 50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *