ඉතිහාසයේ වැඩිම වෙළෙඳ ලකුණු සංඛ්‍යාව 2019දී ලියාපදිංචි වෙයි

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලසීමාවේදී මෙරට තුළ අලුතින් ලියාපදිංචි කෙරුණු වෙළෙඳ ලකුණු සංඛ්‍යාව 14,993 ක් බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ වෙබ් අඩවියේ සංඛ්‍යා දත්ත තුළ සඳහන් වෙයි. 

ඒ අතරින් ලියාපදිංචි කෙරී ඇති දේශීය වෙළෙඳ ලකුණු සංඛ්‍යාව 5,250ක් වන අතර, ජාත්‍යන්තර වෙළෙඳ ලකුණු සංඛ්‍යාව 9,743 කි.

මෙය 1995 වසරෙන් පසුව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය මගින් එක් වසරකදී ලියාපදිංචි කෙරුණු වැඩිම වෙළෙඳ ලකුණු සංඛ්‍යාව බවටද පත්ව තිබේ. 

මීට පෙර වැඩිම වෙළෙඳ ලකුණු සංඛ්‍යාවක් ලියාපදිංචි කෙරී තිබුණේ 2017 වසරේදීය. එය 10,622 කි. පසුගිය 2018 වසරේදී එම සංඛ්‍යාව 5,189ක් විය.

මෙම දත්ත තුළ සඳහන් ආකාරයට පසුගිය වසරේදී ලියාපදිංචිය වෙනුවෙන් ඉදිරිපත් වූ වෙළෙඳ ලකුණු ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව 10,385කි. 

ඒ අතරින් වෙළෙඳ ලකුණු 6,669ක් දේශීයව ඉදිරිපත්ව ඇති අතර, ජාත්‍යන්තරව වෙළෙඳ ලකුණු 3,716ක් සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත්ව තිබේ.

මේ අතර පෙර වසරවලදී ලැබුණු ඉල්ලුම් පත්‍රද අදාළ කරගනිමින් 2019 වසරේදී ඉල්ලුම් පත්‍ර 10,224ක් පරීක්ෂාවට ලක් කර ඇතැයි එම කාර්යාලය සඳහන් කරයි. 

ඒ අතරින් වෙළෙඳ ලකුණු 6,456ක් දේශීයව ඉදිරිපත් වූ ඒවා වන අතර, ඉදිරිපත් වූ ජාත්‍යන්තර වෙළෙඳ ලකුණු සංඛ්‍යාව 3,768 කි. 

මේ අතරින් තෝරාගත් වෙළෙඳ ලකුණු 7,741ක් පමණක් පසුගිය වසරේදී රජයේ ගැසට් නිවේදන තුළ ප්‍රසිද්ධියට පත් කර තිබේ. දේශීය වෙළෙඳ ලකුණු 3,997ක් සහ ජාත්‍යන්තර වෙළෙඳ ලකුණු 3,744ක් ඒ අතර වන බව කාර්යාලය සඳහන් කරයි.

“ලකුණක් – ‘වෙළෙඳ ලකුණක්’ හෝ ‘සේවා ලකුණක්’ යන්නෙන්, එක් ව්‍යවසායක භාණ්ඩයක් හෝ සේවාවක්, වෙනත් ව්‍යවසායන්ගේ භාණ්ඩ හෝ සේවාවන්ගෙන් වෙන් කර දැක්වීම පිණිස උපයෝගී කරගනු ලබන යම් දෘශ්‍යමාන ලාංඡනයක් යන්න අදහස් වේ. වෙළෙඳ ලකුණක් භාණ්ඩ හා අදාළ වන අතර සේවා ලකුණක් සේවාවන්ට අදාළ වේ. ඊට අමතරව සහතික ලකුණු හා සාමූහික ලකුණු වශයෙන් තවත් ලකුණු වර්ග දෙකක් තිබේ.” වෙළෙඳ ලකුණක් පිළිබඳ ජාතික බුද්ධිමය දේපළ කාර්යාල වෙබ් අඩවියේ ඇති නිර්වචනයේ සඳහන් වෙයි.

මෙලෙස ලියාපදිංචි කෙරෙන වෙළෙඳ ලකුණක් ඉල්ලුම්පත්‍රය දිනයේ සිට වසර 10ක කාලසීමාවක් සඳහා වලංගු වන අතර, අදාළ ගාස්තුව ගෙවීමෙන් තවත් වසර 10ක කාලසීමාවකට එය අලුත් කළ හැකිය.

පළමුවර වෙළෙඳ ලකුණක් ලියාපදිංචි ගාස්තුව එක් අයදුම්කරුවෙකු සඳහා රුපියල් 1,150/- කි. එය යළි අලුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් 3,450/- කි.

Visits: 49

Leave a Reply

Your email address will not be published. Required fields are marked *