රොහාන් ප්‍රනාන්දු සභාපති වීමත් සමග SLT අතිවිශේෂ මහා රැස්වීම අවලංගුයි…

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලබන ජනවාරි 30 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ අතිවිශේෂ මහා රැස්වීම අවලංගු කර ඇතැයි එහි කොටස්හිමිකරුවන් වෙත මේ වනවිටත් දැනුම් දී තිබේ.

ජනවාරි 30 වැනි බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ කමිටු ශාලා ‘A’ හි මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබුණි. 

ඒ අනුව මෙම අවලංගුවීම සම්බන්ධයෙන් සිය කොටස්හිමියන් වෙත සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව වන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සඳහන් කර සිටියි.

පසුගිය ජනාවරි 09 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව ටෙලිකොම් සමාගම මෙම අතිවිශේෂ මහා රැස්වීම පැවැත්වීමට කටයුතු යෙදිණි. 

මාධ්‍ය වාර්තා කළ ආකාරයට එම අවස්ථාවේදී ටෙලිකොම් සභාපතිවරයා ලෙස පත් කිරීම සඳහා රජය විසින් යෝජනා කර තිබූ නිමල් පෙරේරා මහතාව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සම්බන්ධ කරගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් මෙම හමුව කැඳවා තිබුණි. 

2007 අංක 07 දරණ ‍ටෙලිකොම් සමාගමේ පනතේ 211 වැනි වගන්තිය අනුව එහි සභාපති ධුරයට පත්වන තැනැත්තා වයස අවුරුදු 70ට වඩා අඩු විය යුතුය. 

එහෙත් යෝජනා වී තිබූ නිමල් පෙරේරා මහතාගේ වයස ඒ වනවිට අවුරුදු 75ක් විය. 

මහාභාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ යෝජනාවකට අනුව ටෙලිකොම් සභාපති පුටුවට නම් කෙරිණි. ඔහු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි අවධියේ ඊට අයත්ව තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි පුද්ගලයාය.

කෙසේ වෙතත් පසුව මෙරට ප්‍රමුඛ පෙළේ අපනයනකරුවෙකු, ව්‍යාපාරිකයෙකු වන හෙලදිව් තේ සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ටෙලිකොම් සභාපති ධුරය සඳහා පත් කෙරිණි. ඔහු මේ වනවිට අවුරුදු 70ට වඩා අඩු වයසේ පසුවෙයි. 

ඒ අනුව ගැටලුවකින් තොරව නව සභාපතිවරයා පත්කර ගැනීමට හැකියාව ලැබීමත් සමගින්ම 30 වැනිදාට යෙදී තිබූ මෙම අතිවිශේෂ මහා රැස්වීම අවලංගු කෙරී ඇත.

Visits: 32

Leave a Reply

Your email address will not be published. Required fields are marked *