2019 වසරේ මුල් මාස 11 දී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 10.7 යි

පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වූ මුල් මාස 11 තුළදී මෙරට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 10.7ක් වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

ඒ අනුව මෙය 2018 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව ඩොලර් මිලියන 180ක එනම් 1.7%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

එහිදී ඇගලුම් කර්මාන්තය සුපුරුදු ලෙස වැඩිම අපනයන ආදායමක් සඳහා දායක වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 47%කි. එසේම තේ අපනයනය 11%ක දායකත්වයක්ද, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන 7.5%ක්ද, පොල් සහ පොල් පාදක නිෂ්පාදන සහ ඉංජිනේරු නිෂ්පාදන 5%ක්ද ලෙස මෙම අපනයන ආදායම සඳහා දායක වී තිබේ. 

මීට අමතරව ආහාර සහ පාන වර්ග, පෙට්‍රෝලියම් නිෂ්පාදන, කුළුබඩු සහ අත්‍යවශ්‍ය තෙල් නිෂ්පාදන, දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ නිෂ්පාදන, මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය 5%ක මට්ටමකට වඩා අඩු දායකත්වයක් ලබා දී තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලය පවසන ආකාරයට අපනයන ආදායම බිලියනය ඉක්මවූ ක්ෂේත්‍ර ඇත්තේ දෙකක් පමණකි. 

එහිදී ඇගලුම් ඩොලර් මිලියන 5.096ක්ද, තේ අපනයන ඩොලර් මිලියන 1,241ක්ද වාර්තා කර ඇත.

මීට අමතරව රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනවල ආදායම ඩො. මිලියන 815ක්, පොල් සහ පොල් පාදක නිෂ්පාදන ආදායම ඩො. මිලියන 570ක්, ඉංජිනේරු නිෂ්පාදන අපනයන ආදායම ඩො. මිලියන 550ක්, පෙට්‍රෝලියම් නිෂ්පාදන ආදායම ඩො. මිලියන 311ක්, ආහාර සහ පාන ආදායම ඩො. මිලියන 333ක්, කුළුබඩු සහ අත්‍යවශ්‍ය තෙල් නිෂ්පාදන ආදායම ඩො. මිලියන 292ක්, දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ නිෂ්පාදන ආදායම ඩො. මිලියන 288ක් සහ මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයන ආදායම ඩො. මිලියන 252ක් ලෙස සටහන්ව තිබේ. 

අපනයන සංවර්ධන මණ්ඩලය පවසන ආකාරයට පසුගිය වසරේ මුල් මාස 11 දී ශ්‍රී ලංකාව වැඩිම අපනයන ප්‍රමාණයක් සිදු කළ රට වන්නේ එක්සත් ජනපදයයි. එහි වටිනාකම ඩොලර් මිලියන 2,856කි.

දෙවැනියට සිටින එක්සත් රාජධානියේ අපනයන වටිනාකම ඩොලර් මිලියන 925කි. ඉන්දියාවට සිදු කර ඇති අපනයන වටිනාකම ඩොලර් මිලියන 703කි. 

ජර්මනියට එය ඩොලර් මිලියන 594ක් වන අතර, ඉතාලිය වෙත එය ඩොලර් මිලියන 490 කි. 

එසේම බෙල්ජිම, නෙදර්ලන්තය, ජපානය වෙත සිදු කර ඇති අපනයනවල වටිනාකම පිළිවෙලින් ඩොලර් මිලියන 323ක්, 270ක් සහ 263කි. 

මීට අමතරව එක්සත් අරාබි එමීරය සහ කැනඩාව වෙතද ඩොලර් මිලියන 256 සහ 220 බැගින් අපනයන සිදු කර තිබේ. 

චීනය වෙත සිදු කර ඇති අපනයනවල වටිනානකම ඩොලර් මිලියන 209 කි.

Visits: 39

Leave a Reply

Your email address will not be published. Required fields are marked *