සජිත්ගෙන් පසු නිවාස හැදීම භාරගත් අගමැති මහින්දගෙන් නව නිවාස 14,022ක්

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය මගින් රට පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි. 

ඒ අනුව ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කරගැනීම සඳහා එම අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම අනුමත වී ඇතැයි අද පෙරවරුවේදී පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම්දීමේ දී අනාවරණය කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම සුවපහසු නිවසක ජීවත්වීමට ඉඩ සලසා දීම තුළින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ‘ගමට ගෙයක් – රටට හෙටක්’ ලෙස සඳහන් මෙම වැඩසටහන කඩිනම් මෙන්ම තිරසර සංවර්ධන වැඩසටහනක් ලෙස 2020 වර්ෂයේ ජනවාරි මාසයේදීම ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. 

මෙම වැඩසටහනේ මුල් අදියර ලෙස සෑම ග්‍රාම නිලධාරී වසමකම ප්‍රමුඛතාව මත තෝරා ගත් එක් දිළිදු පවුලකට නිවසක් ඉදිකිරීමට හෝ වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ 6ක ආධාරයක් ලබා දීමට සැලසුම් කර ඇත. 

එය ඉදිකිරීම් ප්‍රගතිය මත පදනම්ව වාරික ලෙස ලබා දෙන බවත් අමාත්‍යාංශ යෝජනාවේ සඳහන් වෙයි. 

මීට පෙර රට තුළ නිවාස හැදීමේ වගකීම පැවරී තිබුණේ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යවරයාව සිටි සජිත් ප්‍රේමදාස මහතා වෙතයි. 

ඔහුගේ යටතේ පැවැති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම අඩු ආදායම් ලාභීන් සඳහා වන නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරිණි. 

එහිදී ඔහු සිය පියා වන හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාසගේ ‘ගම්උදාව’ වැඩසටහන ‘උදාගම්මාන’ ලෙස පවත්වාගෙන ගියේය. 

ඒ යටතේ වසර 2025 වනවිට උදා ගම්මාන 20,000ක් ඉදිකිරීම ඔහුගේ සැලසුම වූ අතර, පසුගිය නොවැම්බර් මාසයේදී රජය වෙනස් වන විට සජිත් ප්‍රේමදාස මහතාට ඉදිකිරීමට හැකියාව ලැබී තිබුණේ උදා ගම්මාන 160කට ආසන්න සංඛ්‍යාවක් පමණකි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති පිළිබඳව පසුගිය කාලයේදී බොහෝ විවේචන පැවැති අතර, නව රජය හරහා මේ වනවිට විමර්ශන සිදු කෙරෙමින් පවතී.

Visits: 107

Leave a Reply

Your email address will not be published. Required fields are marked *