“ඇසුරුම් කළ ජල කෝප්පයක් ඩොලර් 7.80ක් නෙමෙයි” ශ්‍රී ලංකන් ගුවන් සේවය පහදයි

පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ආකාරයෙන් කිසිදු විටෙකත් තමන් ඩොලර් 7.80ක් වැනි ඉහළ මිලකට ඩුබායි සමාගමකින් ජලය හෝ ජල කෝප්ප මිලදී ගැනීමක් සිදු නොකළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. 

මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මේ පිළිබඳව සඳහන් කර සිටියි.

ඒ අනුව, මෙම පෙර ඇසුරුම් කරන ලද කෝප්පයක් සඳහා පිරිවැය, එම කාලසීමාවේදී පැවැති අදාළ විනිමය අනුපාතයට අනුව එක්සත් අරාබි එමීර ඩිරාම් 0.16146ක් නොහොත් ශ්‍රී ලංකා රුපියල් 6.96ක් බවත්, ඒ සඳහා එක්සත් ජනපද ඩොලර් 7.80ක් වැය කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. 

එසේම මෙම මිලදී ගැනීම සඳහා විදෙස් රටකට යාමට සිදු වූයේ එවැනි ජල කෝප්ප නිෂ්පාදනයක් මෙරට සිදු නොකිරීම නිසා බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

“2018 මාර්තු 6 සහ 7 දිනවල ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත්වල ඊට අදාළ ටෙන්ඩර් දැන්වීම් නිකුත් කරමින් නිශ්චිත අයිතමය සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශීය සමාගම්වලින් ලංසු කැඳවීමක් සිදු කළා. එහිදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ජල කෝප්ප ලබා දීමට හැකි බවට කිසිදු යෝජනාවක් නොලැබුණු අතර, ලංසු ඉදිරිපත් කෙරුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදනම් කරගත් සමාගම්වලිනි.”ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ඊට අමතරව මැලේසියාවෙන් ජලය සැපයිමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව පදනම් කරගත් සමාගමකින්ද ලංසු ඉදිරිපත් වුණු බවද එම සමාගම මෙහිදී සඳහන් කරයි.

“මෙහිදී අදාළ සැපයුම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙරට තවත් ජල සැපයුම්කරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගත් නමුත් ඒ කිසිවෙකු මේ සඳහා උනන්දුවක් දැක්වූයේ නැත.” නිවේදනයේ සටහන්ව ඇත.

විශේෂයෙන්ම කෙටි ගමනාන්තවල යෙදෙන ගුවන් යානයක සිටින මගීන්ට ජලය වීදුරුවලට වත්කර සංග්‍රහ කිරීමට යානයේ කාර්ය මණ්ඩලයට දීර්ඝ කාලයක් ගත වීම හේතුවෙන් ගුවන් සමාගම් ජල බෝතල් හෝ පෙර ඇසුරුම් කරන ලද ජල කෝප්ප භාවිතා කරයි.

එහිදී ජල කෝප්පයේ විශාලත්වය යානය තුළ භාවිත කරන ආහාර තැටියේ ප්‍රමාණය අනුව නියම වන බවත්, ප්‍රධාන වශයෙන් මැදපෙරදිග හා ඈත පෙරදිග ගමනාන්ත වෙත සේවය කරන ගුවන් සමාගමේ පටු බඳ සහිත ගුවන් යානා තුළ භාවිත ආහාර තැටියට අර්ධ ප්‍රමාණයේ කෝප්පයක් අවශ්‍ය වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසා සිටියි.

මේ අතර, පෙර ඇනවුම් කළ මෙම ජල කෝප්ප තොගයක් තවමත් තමන් සතුව ඇති නිසා ඒවා අවසන් වන තෙක් සිය ගුවන් යානාවල මගීන්ට එම ජල කෝප්ප පිරිනමන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 

කෙසේ වෙතත් පරිසර ආරක්ෂාව පිළිබඳව සිතා සිය ගුවන් යානා තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් පවසා සිටියි.

Visits: 34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *