මහ බැංකුව මේ වසරේදී අලුතින් මුදල් අච්චු ගැනීමට යයි…

2020 දී රුපියල් 20 කාසියක්, රුපියල් 2,000ක මුදල් නෝට්ටුවක්

මේ වසර තුළදී නව රුපියල් 20ක සමරු කාසියක් සහ රුපියල් 2,000ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

2020 සඳහා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ ‘2020 පෙර දැක්ම’ තුළ මේ බව සඳහන් වෙයි.

ඒ අනුව මේ වසරට යෙදෙන මහ බැංකුවේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම රුපියල් 20 වටිනාකමින් යුත් සමරු කාසිය නිකුත් වීමට නියමිතව ඇත. 

මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ 40 වැනි සංවත්සරය (1990දී) වෙනුවෙන් රුපියල් 500ක කාසියක්, 50 වැනි සංවත්සරය (2000දී) වෙනුවෙන් රුපියල් 1,000 ක කාසියක්, 60 වැනි සංවත්සරය (2010දී) වෙනුවෙන් රුපියල් 5,000ක කාසියක් ලෙස මහ බැංකුව සිය සමරු කාසි නිකුත් කර තිබේ. 

1957 වසරේ සිට මහ බැංකුව මෙලෙස විවිධ අවස්ථා සැමරීම පිණිස සමරු කාසි සහ නෝට්ටු නිකුත් කර ඇත. 

එසේම දැනට පවතින 11 වැනි මුදල් නෝට්ටු මාලාව යටතේ රුපියල් 2,000 නව මුදල් නෝට්ටුව නිකුත් කිරීම සැලසුම වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් රුපියල් 2,000ක වටිනාකමකින් යුත් නෝට්ටුවක් පළමුවරට නිකුත් කෙරුණේ 2005 වසරේදීය. 

ඒ දසවැනි මුදල් නෝට්ටු කාණ්ඩය යටතේය. එම කාණ්ඩයේ තේමාව වූයේ ‘ශ්‍රී ලංකාවේ උරුමයන්’ යන්නයි. මෙම දස වැනි මුදල් නෝට්ටු කාණ්ඩය නිකුත් කිරීම 1991 වසරේදී ආරම්භ වී තිබුණි.

ඒ අනුව 11 වැනි මුදල් නෝට්ටු කාණ්ඩය යටතේ නිකුත් කෙරෙන මෙම අලුත් රුපියල් 2,000 මුදල් නෝට්ටුව එහි තේමාව වන ‘ශ්‍රී ලංකාවේ සංවර්ධනය සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්’ යටතේ නිකුත් වීමට නියමිතව ඇත.

(1990, 2000 සහ 2010 දී මහ බැංකුව සමරු කාසි)

Visits: 161

Leave a Reply

Your email address will not be published. Required fields are marked *