මෙරට දිනෙක සිගරට් අලෙවිය සිගරට් එක්කෝටි දස ලක්ෂයක්?

මෙරට සිටින ලක්ෂ 15කට අධික දුම්වැටි උරන්නන් සංඛ්‍යාවක් දිනෙකට දුම්වැටි එක්කෝටි දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS- Institute of Policy Studies) පවසයි. 

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නවතම දත්ත ඇතුළත් කරමින් “Tobacco Smoking in Sri Lanka: Going the Last Mile” ලෙස මෙරට දුම්වැටි පානය පිළිබඳ වාර්තාවක් සකස් කරමින් ඔවුන් මේ කරුණු අනාවරණය කරයි. 

මේ හරහා මෙරට ජනතාවගේ සෞඛ්‍ය, සමාජයට, පරිසරයට සහ ආර්ථිකයට සිදුවන හානිය රුපියල් බිලියන 89ක් ලෙස ගණන් බලා තිබේ. 

ඒ අතරින් දුම්වැටි හා පාදක වුණු රෝගාබාද හේතුවෙන් සෑම වසරකදීම මෙරට තුළ මරණයට පත්වන්නන්ගේ සංඛ්‍යාව 12,300ක් බවත් රෝහල් වාර්තා පවසයි. 

කෙසේ වෙතත් ගෙවුණු කාලසීමාවේදී මෙරට දුම්වැටි පානය යම් තරමකින් හෝ අඩුවී ඇතැයිද IPS හි මෙම වාර්තාව පෙන්වා දෙයි.

විශේෂයෙන්ම දුම්කොළ සහ දුම්වැටි භාවිතය පිටු දැකීම සඳහා බලධාරීන් ගත් ක්‍රියාමාර්ග ඊට හේතුව වී තිබේ. 

2003 වසරේදී ශ්‍රී ලංකාවද දුම්වැටි පාලනය පිළිබඳ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මුති ක්‍රියාරාමුව (FCTC – WHO Framework Convention on Tobacco Control වෙත යොමු වීම එහි ප්‍රධානම අවස්ථාවකි.

එතැන් පටන් ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කිරීම, වයස අවුරුදු 21කට වඩා අඩු පිරිස් දුම්වැටි ප්‍රචාරණය සඳහා යොදා නොගැනීම, දුම්වැටි පිළිබඳ දැන්වීම් තහනම් කිරීම, මුදල් දමා දුම්වැටි මිලදී ගත හැකි යන්ත්‍ර අත්හිටුවීම මෙන්ම සිගරට් පැකට්ටුවක 80%ක ප්‍රදේශයක් ආවරණය වන ලෙස එහි ආදීනව දැක්වෙන ඡායාරූප මුද්‍රණය කිරීමද මෙම තත්ත්වය ඇති වීම සඳහා ගත් ක්‍රියාමාර්ග වෙයි.

ඒ අනුව 2005 වසරේදී මෙරට පුරුෂයන් 43.1%ක් අතර පැවැති දුම්බීමේ ප්‍රවණතාවය, 2018 වසර වන විට 28.4% ක් දක්වා අඩුවී තිබේ. එහෙත් මෙම ප්‍රතිශතයත් සැලකිය යුතු මට්ටමෙන් ඉහළ අගයක පවතින බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

මේ අතරම, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හඳුනාගෙන ඇති ආකාරයට මෙරට දුම්වැටි පානය කරන විවිධ කණ්ඩායම් එලෙස දුම් ඉරීම සඳහා හේතුවන කාරණා පිළිබඳවද අධ්‍යයනයක් සිදු කර ඇත. 

ඒ අනුව වැඩිහිටි පුද්ගලයන් පුරුද්දක් ලෙසත්, තනිකම මකා ගැනීමටත්, ඒකාකාර ජීවන රටාව මඟහරවා ගැනීමටත් මෙලෙස දුම්වැටි උරන බව හඳුනාගෙන ඇත. 

එසේම තරුණයන් තමන්ට ඇති පීඩනය මගහරවා ගැනීම සඳහා දුම්වැටි උරන බව එහි සඳහන් වෙයි. මීට අමතරව යමෙකු යෙදෙන රැකියාව (උදා.රියදුරන්, ධීවරයන්, ඉදිකිරීම් සේවකයන්) අනුවද දුම් ඉරීම පුරුද්දක් බවට පත් කරගෙන ඇත.

2016 වසරේ පැවැති දුම්වැටි මිල යටතේ සිදු කරන ලද ගණන් බැලීමකට අනුව ශ්‍රී ලංකාව තුළ අලෙවි වන දුම්වැටි 20ක් අඩංගු පැකට්ටුවක මිල ආසියාව තුළ දෙවැනි වන්නේ සිංගප්පූරුවේදී අලෙවිවන දුම්වැටි පැකට්ටුවක මිලට පමණි.

Visits: 36

Leave a Reply

Your email address will not be published. Required fields are marked *