පර්පෙචුවල් ට්‍රෙෂරීස් ප්‍රාථමික ගනුදෙනු අත්හිටුවීම තවත් මාස 6කට දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා ලැබ ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත පනවා තිබූ ප්‍රාථමික අලෙවි කටයුතු අත්හිටුවීම තවත් මාස හයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මහ බැංකුව පවසයි. 

ඒ අනුව අද එනම්, 2020 ජනවාරි මස 05 වැනිදා ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6ක කාලසීමාවක් සඳහා එම තහනම තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කෙරුණු නියෝගයකට අනුව අදාළ බැඳුම්කර වංචාව සහ එම සමාගම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරගෙන යාමේ අරමුණ මෙලෙස ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීමට හේතුව වී තිබේ.

මෙලෙස කල් පිරුණේ පසුගිය වසරේ ජූලි මාසයේ පස් වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කරන ලද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික ගනුදෙනු අත්හිටුවීමයි. 

මෙම චෝදනාව යටතේ පළමුවරට මහ බැංකුව මගින් එම සමාගමේ ප්‍රාථමික ගනුදෙනු අත්හිටුවීමක් සිදු කෙරුණේ 2017 වසරේ ජූලි 05 වැනිදාය. එතැන් පටන් මේ දක්වා පස් වතාවක් මෙම අත්හිටුවීම දීර්ඝ කර තිබේ. 

මෙම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදු වුණු පාඩුව රුපියල් මිලියන 11,000ක් ලෙස ගණන් බලා ඇත.

ඒ අනුව මෙම වංචාව පිළිබඳ නිකුත් කළ ජනාධිපති කොමිෂම් වාර්තාවට අනුව මෙම අලාභය මෙන්ම එම කොමිෂම සඳහා වියදම් වූ මුදලද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකර ගත යුතු බවට නිර්දේශ කර තිබේ.

අදාළ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුව සිදු කළ වෝහාරික විගණනයේ අවසන් වාර්තාව මේ වන විටත් නීතිපතිවරයා මෙන්ම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වෙතත් භාරදී ඇතැයි වාර්තා සඳහන් කරයි.

Visits: 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *