සංචාරක සංවර්ධන අධිකාරියෙන් අවන්හල් සහ හෝටල් වෙත අනතුරු ඇඟවීමක්…

දේශීය සංචාරකයන් වෙනුවෙන් සේවා සැලසීම ප්‍රතික්ෂේප කරන සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍රලාභී අවන්හල් සහ හෝටල් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සංචාරක සංවර්ධන අධිකාරිය අනතුරු අඟවා සිටියි. 

විශේෂයෙන්ම හික්කඩුව සහ ආරුගම්බේ ප්‍රදේශවල පිහිටි අවන්හල් සහ හෝටල් මෙවැනි ප්‍රතික්ෂේප කිරීම් සිදුකරන බව නිරික්ෂණය වී තිබේ. 

ඒ අනුව මෙවැනි අවන්හල් සහ හෝටල් වෙත දේශීය සංචාරකයන්ට ඇතුළුවීමට අවස්ථාව නොදුන් බවට වන පැමිණිලි කිහිපයක්ම දැනටමත් ඉදිරිපත්ව ඇතැයි එම අධිකාරිය සඳහන් කරයි. 

එහිදී එම අවන්හල් ‘විදේශිකයන්ට පමණක්’ යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට පෙනෙන්නට ඇතැයිද අධිකාරියේ චෝදනාව වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය, “අපේ ව්‍යවස්ථාවෙන් සියලුම පුරවැසියන්ට සමාන අයිතියක් සපයා දී තිබෙනවා. ජාතිය, ආගම, භාෂාව,කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ එවැනි හේතුන් මත කිසිදු පුද්ගලයෙකුට සාප්පු, පොදු අවන්හල්, හෝටල්, පොදු විනෝදාස්වාදන ස්ථාන වෙත ඇතුළු වීමට කිසිම කොන්දේසියකට යටත් වීමට අවශ්‍යතාවක් නැහැ” යනුවෙන් පවසා සිටියි.

යම් කිසි ලෙසකින් මෙවැනි අවස්ථාවකදී ආයතනයක් වැරදිකරුවෙක් වුවහොත් එවැනි ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගන්නා බවත්, එම ප්‍රදේශ වෙත නව බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිනිය වැඩිදුරටත් පවසා ඇත.

අප්‍රේල් 21 වැනිදා සිදු වුණු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව අඩු වුණු විදේශීය සංචාරක පැමිණීම් නිසා කඩා වැටුණු මෙරට දේශීය සංචාරක කර්මාන්තය යම් තරමකින් හෝ ආරක්ෂා කරගැනීම සඳහා මෙම දේශීය සංචාරකයන්ගේ සහාය ඉතාමත් වැදගත් විය. 

එහෙත් මේ වන විට එම සංචාරක පැමිණීම් යළිත් යථා තත්ත්වයට පත්වෙමින් පැවතීමත්, නොවැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය මෙරට සංචාරක සමය වීමත් නිසා ඇතැම් හෝටල් සහ අවන්හල් මෙම ‘විදේශිකයන්ට පමණක්’ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට හඳුනාගෙන ඇත. 

කෙසේ වෙතත් විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීම අඩු සමයේදී මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි දුෂ්කර කාලවලදී කර්මාන්තයට සහාය වන්නේ මෙම දේශීය සංචාරකයන් බවත්, එවැනි වෙනස්කම් කිරීම වළක්වා ගන්නා ලෙසත් සංචාරක සංවර්ධන අධිකාරිය සියලුම හෝටල් සහ අවන්හල් වෙත දැනුම් දී තිබේ.

Visits: 42

Leave a Reply

Your email address will not be published. Required fields are marked *