කොළඹ වරාය නගරයේ පර්චසයක් රුපියල් මිලියන 13 යි

කොළඹ වරාය නගරයේ පර්චසයක් රුපියල් මිලියන 13 යි

කොළඹ වරායට ඔබ්බෙන් මුහුද ගොඩ කරමින් ඉදි කළ “කොළඹ වරාය නගර” භූමියේ එක් පර්චසයක වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 13ක් පමණ වෙනු ඇතැයි ආර්ථික පර්යේෂණ සමාගමක් වන “ප්‍රයිස්වෝටර්ස්හවුස් කූපර්ස් (PwC -Pricewaterhouse Coopers) සමාගම මගින් සිදු කළ ස්වාධීන අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ. 

කෙසේ වෙතත් මෙම මිල ගණන් වරාය නගරයට ආසන්නව පවතින භූමිය අනුව සකසා ඇති බවත් එම වටිනාකම් යම් පමණකින් වෙනස්වීමේ හැකියාව ඇති බවද ඔවුන් සඳහන් කර සිටියි.

ඒ අනුව, මෙවැනි ඉඩක් ආයෝජකයන් වෙත 99 අවුරුදු බද්දක් සඳහා ලබා දීම මගින් රජය වෙත උපරිමය වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.8ක ආදායමක්ද, මෙම ව්‍යාපෘතිය සිදු කරන CHEC Port City Colombo සමාගම වෙත ඩොලර් බිලියන 3.4ක් වූ ආදායමක් ද හිමි වන බව මෙම අධ්‍යයනය තුළ සටහන්ව ඇත.

මෙම CHEC Port City Colombo හි සමස්ත භූමි ප්‍රමාණය වූ හෙක්ටයාර 269න් හෙක්ටයාර 116ක් CCCC (China Communication Construction Company) සමාගම වෙත අයත්ව තිබීමත්, ශ්‍රී ලංකා රජය සතු භූමිය හෙක්ටයාර 62ක් වීමත් මේ ආදායම් වෙනසට හේතුව වී තිබේ. ඒ අනුව සමස්ත භූමියෙන්ම ගොඩනැගිලි ඉදිකිරිම සඳහා 99 අවුරුදු බද්දකට යටත්ව යෝග්‍ය බවට සහතික කර ඇත්තේ හෙක්ටයාර 178 ක් පමණකි.

මීට පෙර කොළඹ වරාය නගරය පිළිබඳව අදහස් දක්වා සිටි කලම්බු පෝර්ට් සිටි ව්‍යාපෘති අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු මහතාද, මෙම හෙක්ටයාර 116 ප්‍රමාණය කිසිදු හේතුවකින් එක් ප්‍රදේශයක් හෝ එක් අන්තයක් ලෙස වෙන් නොවන බවත්, ශ්‍රී ලංකා රජය යටතේ පවතින ඉඩම් සහ චීන සමාගම වසර 99ක් සඳහා බදු පදනමට වෙන් කරන ඉඩම් මිශ්‍රව පවතිනු ඇති බවයි. ඒ අනුව චීන සමාගමට එම ඉඩම් ප්‍රතිඅපනයනය කිරීමේ හැකියාව පවතින අතර, එම අපනයන කටයුතු ත්‍රෛපාශ්වික ගිවිසුමකට අනුව ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙන 99 අවුරුදු බදු ඔප්පුවකට අනුව සිදු වන බවත් සඳහන් කර තිබුණි.

CCCC – China Communication Construction Company සමාගම මෙම කොළඹ වරාය නගරය ගොඩනැගීම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක මුදලක් ආයෝජනය කර ඇත.

CHEC Port City Colombo සමාගම තමන්ට අයත් මෙම ඉඩම් අලෙවි කිරීම සඳහා සිදුකරන පළමු විදේශීය දියත් කිරීම ලබන ජූනි මාසයේදී සිංගප්පූරුවේදී පැවැත්වෙන World Cities Summit 2020 දී සිදු කිරීමට සැලසුම් කර ඇත. එහිදී ඔවුන් තවත් ප්‍රවර්ධන කටයුතු රැසක්ම සිදු කිරිමට බලාපොරොත්තු තබා තිබේ.කෙසේ වෙතත් වරාය නගරය තුළ ශ්‍රී ලංකා රජයට අයත් භූමි කොටසේ සිදුකරන මෙහෙයුම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති අතර, ඊට අදාළ යෝජනා පිළිබඳව පමණක් සලකා බැලීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී. ඒ අනුව එළැඹෙන මහ මැතිවරණයට පසුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවට රජය දැනටමත් නිවේදනය කර තිබේ.

Visits: 134

Leave a Reply

Your email address will not be published. Required fields are marked *