Taj Television වෙත ක්‍රිකට් විකාශන අයිතිය දීමෙන් ක්‍රිකට් ආයතනයට රු. බිලියන 3.1 අලාභයක්

Taj Television වෙත ක්‍රිකට් විකාශන අයිතිය දීමෙන් ක්‍රිකට් ආයතනයට රු. බිලියන 3.1 අලාභයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී සහභාගි වූ දේශීය මෙන්ම විදේශයන්හිදී සහභාගි වූ ක්‍රිකට් තරගාවලි සඳහා වන ජාත්‍යන්තර රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන අයිතිය ප්‍රදානය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කෝප් කමිටුව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇතැයි වාර්තා පවසයි.

එහිදී විශේෂයෙන්ම මෙරටදී සංවිධානය කෙරෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල විකාශනය අයිතිය ඩුබායිහි පිහිටි  Taj Television (Taj Entertainment Network) පෞද්ගලික සමාගමට අයත් Ten Sports නාලිකාව වෙත ලබා දීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් බිලියන 3.1ක අලාභයක් සිදුව ඇතැයි පසුගියදා පැවැත්වුණු පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී අනාවරණය වීමත් සමගින්ම එම කමිටුව මෙම තීරණය ගෙන තිබේ.

2013 වසරේදී Taj Television සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති කරගත් දිගුකාලීන එකඟතාවකට අනුව එම වසරේ අප්‍රේල් 01 වැනිදා සිට 2020 වසරේ මාර්තු 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාව තුළදී පැවැත්වෙන ක්‍රිකට් තරගවල නිෂ්පාදන සහ විකාශන අයිතිවාසිකම තම සමාගම වෙත පවරා ගැනීමට සමත් විය. 

ඒ අනුව වසර 07ක කාලයක් සඳහා වන මෙම ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 34.873 ක් විය. එසේම, 2017 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයක ආවරණ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඊට පෙරදීම Taj Television වෙත අලෙවි කර තිබුණේ ඩොලර් මිලියන 25.5 ක මුදලකටයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමාගම සහ Taj Television අතර මෙම වසර හතක කාලය තුළදී පැවැති සමස්ත ගනුදෙනුවේ වටිනාකම ඩොලර් මිලියන 60.373ක් බව මාධ්‍ය පවසයි.

මේ අතර, අදාළ වසර හතක කාල සීමාව තුළදී මෙරට දේශීය ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ත්‍යාගයක් ලෙස සෑම වසරකදීම එක්සත් ජනපද ඩොලර් 40,000ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දීමටද Taj Television සමාගම එකඟතාව පළ කර තිබෙන බවත් එම සමාගමේ තොරතුරු අනුව එකල වාර්තා වී තිබුණි.   

මීට අමතරව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු විසින් 2015 වසරේදී නිකුත් කරන ලද රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන අයිතිය පිළිබඳ සංශෝධිත අමාත්‍යාංශ සංදේශයක් අවභාවිතා කරමින් ගෙවුණු කාලසීමාව තුළදී පෞද්ගලික ගුවන් විදුලි නාලිකා කිහිපයක්ම ක්‍රිකට් තරග විකාශනය කිරීමේ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වීමට මෙහිදී යෝජනා වී ඇත.

පෙර පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේ නිකුත් වූ එහි පළමු අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මෙරට ක්‍රිකට් තරග රුපවාහිනි විකාශන අයිතිය රජයේ නාලිකා වෙත පමණක් ලබා දිය යුතු බවත්, එසේ නොවන අවස්ථාවකදී ක්‍රීඩාව සඳහාම පමණක් වෙන්වූ නාලිකා වෙත එම අවස්ථාව ලබා දිය හැකි බවත් සඳහන්ව තිබී ඇත.

එහෙත් 2015 වසරේදී බලයට පත් වූ යහපාලන රජයේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි නවීන් දිසානායක මහතා ඊට සංශෝධන ඉදිරිපත් කරමින් මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකා වෙතද මෙම ක්‍රිකට් තරග විකාශය කිරීමේ අවස්ථාව හිමි වන බවට නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් මෙම අමාත්‍යාංශය සංදේශය අවභාවිතා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සමයේදී මෙම ක්‍රිකට් තරග විකාශය කිරීමේ අවස්ථාව තමන් කැමති පෞද්ගලික ගුවන් විදුලි නාලිකා වෙත ලබා දීමට කටයුතු යොදා ඇතැයි මෙම කමිටුවේදී අනාවරණය වී තිබේ. මෙම විකාශන අයිතිය ප්‍රදානය කිරීම් හරහා අදාළ පෞද්ගලික ගුවන් විදුලි නාලිකා අතිශය විශාල ලාභ ඉපැයීමක් සිදු කර ඇතැයිද දැන් හෙළිදරව් වී ඇත. 

Visits: 165

Leave a Reply

Your email address will not be published. Required fields are marked *