කටුනායක දෙවැනි පර්යන්තය ජපානයේ Taisei වෙත දුන්නේ නොදී බැරිකමටලු

කටුනායක දෙවැනි පර්යන්තය ජපානයේ Taisei වෙත දුන්නේ නොදී බැරිකමටලු

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි දෙවැනි පර්යන්තය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ජපානයේ Taisei සමාගම වෙත ලබා දුන්නේ එය එම සමාගමට නොදී බැරිකම නිසා බව සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පසුගියදා සති අන්ත පුවත්පතක් වෙත පවසා ඇත.

අවසන් වරට ප්‍රකාශයට පත් කෙරුණු කැබිනට් තීරණ දැනුම් දීමේදී එම පර්යන්තය ඉදිකිරීම් ජපානයේ මෙම Taisei Corporation සමාගම වෙත ලබා දීමට තීන්දු කෙරුණු බවට නිල වශයෙන් දැනුම් දීමක් සිදු විය. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම ජපාන යෙන් මිලියන 41,553.89ක් එනම් රුපියල් මිලියන 35,135.84ක් බවත් අනාවරණය කෙරිණි. 

වසර 2025 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විසින් මෙහෙයවනු ලබන වාර්ෂික ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 20 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කිරීම මෙම පර්යන්තය ඉදිකිරීමේ අපේක්ෂාව වී තිබේ.  

අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට අදාළ දෙවැනි පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා එම සමාගම තෝරාගෙන ඇත්තේ පසුගිය රජයයි. එහිදී එම රජය මගින් පත් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුව මගින්ද Taisei Corporation නම් මෙම සමාගම වෙත අවසන් අනුමැතිය ලබා දී තිබී ඇත. යම් හෙයකින් මෙම තීරණය වෙනස් කර අදාළ සමාගම වෙත මෙම ව්‍යාපෘතිය භාර නොදුන්නේ නම් අවලංගු කිරීමේ ගාස්තුවක් ලෙස රජයට සැලකිය යුතු මුදලක් ගෙවීමට අනිවාර්යයෙන්ම සිදුවන බවක් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර තිබේ.

“පසුගිය රජය මගින් මෙම ව්‍යාපෘතිය Taisei Corporation සමාගමට ලබා දෙන්න අවසන් තීන්දුව අරගෙනයි තිබුණේ. එහෙත් මෙහි කොන්ත්‍රාත්කරුවන් සමග යම් ගැටලු තිබුණ නිසා වත්මන් කැබිනට්ටුව මගින් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගෙන් යුත් උපකමිටුවක් පත් කරමින් මේ පිළිබඳව සොයා බැලුවා. එහෙත් මේ ගැටලු නිරාකරණය කරමින් අවසානයේදී මේ සමාගමටම එම ව්‍යාපෘතිය ලබා දෙන්න තීරණය කළා.” අමාත්‍යවරයා පවසා ඇත.

විශේෂයෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නැංවීමේ රජයේ අරමුණත් ඔවුන් හැසිරවීම සඳහා නව පර්යන්තයක කඩිනම් අවශ්‍යතාවත් සලකා මෙම කොන්ත්‍රාත්තුව තවදුරටත් පමා නොකිරීමේ අදහසින් එම සමාගමට එය ලබා දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ. 

ජපානයේ JICA ආයතනය මගින් ලබා දෙන මුදල් ආධාර මත මෙම දෙවැනි පර්යන්තය ඉදිකිරීම මෙලෙස ජපානයේ සමාගමක් වෙතම එම කොන්ත්‍රාත්තුව හිමි කරදීමට හේතුව වී තිබේ. මීට පෙර අදාළ ව්‍යාපෘතිය සඳහා සමාගම් දෙකක් මගින් ඉදිරිපත් කළ මිල ගණන් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 46% කින් සහ 96%කින් වැඩිවීම එම ආයතනය අදාළ ව්‍යාපෘතිය පසු දැමීමටත් හේතු වූ බව අනාවරණය වී තිබේ. 

කෙසේ වෙතත් මෙම දෙවැනි පර්යන්තය ඉදිකිරීමේදී එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ය අනුව සිදුවන්නේදැයි සොයා බැලීම සඳහා සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන්ම රජයේ ඉංජිනේරුවරුන් යෙදවීමටද රජය තීරණය කර ඇත.

මෙම Taisei Corporation සමාගම මගින් ජපානයේ ඉදිකරන ලද උමං මාර්ග ව්‍යාපෘතියක් පසුව කඩා වැටීම මෙන්ම ව්‍යාපෘතියක් සඳහා ලංසු තැබීමේ අවස්ථාවකදී සිදුකළ වංචාවක් සම්බන්ධයෙන්ද වැරදිකරුවන් බවට පත්ව ඇති සමාගමක්වීම ඊට හේතුවී තිබේ. ජපානයේදී පැවැත්වෙන ඔලිම්පික් උළෙල වෙනුවෙන් ඉදිකිරීම් සිදු කිරීමේදී මෙම වංචාව සිදුව ඇති අතර ඊට දඩුවමක් ලෙස 2018 වසරේදී එම සමාගම වෙත මාස හතරක කාලයක් යන තුරු රජයේ ව්‍යාපෘති ලබාදීමක් සිදුව නැත.

කෙසේ වෙතත් Taisei Corporation සමාගම මෙරට සිදුකරන පළමු ව්‍යාපෘතියද මෙය නොවෙයි. මීට පෙර කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඉදිකිරීමේදීද ඔවුන් දායකත්වය ලබා දී ඇත. එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියර සහ මහනුවර සඳහා වන පානීය ජල සැපයුම් ව්‍යාපෘතියක්ද එම සමාගම මගින් සිදුකර තිබේ.

දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් සිදුකරන මගීන් හැසිරවීමේදී මතුවන ගැටලු අවම කිරීමේ අරමුණින් මෙම නව පර්යන්තය ඉදිකිරීම සැලසුම වී තිබේ. එහිදී මූලිකවම දැනට ගුවන් තොටුපොළේ පිහිටි වසරකට මගීන් මිලියන 6ක් පමණක් හසුරුවන පර්යන්තය මගින් 2018 වසරේදී මිලියන 10ක මගීන් පිරිසක් හැසිරවීමට ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයට සිදුව තිබේ. එහිදී මගීන්ට සිය ගමන් මලු නිදහස් කරගැනීම සඳහා පැය ගණනක පමාවකට මුහුණ දීමට සිදුවීම අනිවාර්යය වී ඇත.

Visits: 78

Leave a Reply

Your email address will not be published. Required fields are marked *