Gerard Mendis Chocolatier ඉදිරිපත් කළ නිර්මාණයට රන් සම්මාන

Gerard Mendis Chocolatier ඉදිරිපත් කළ නිර්මාණයට රන් සම්මාන

පසුගිය සතියේදී ජර්මනියේදී පැවැත්වුණු World Culinary Olympics තරගාවලියේදී රන් සම්මානයක් දිනා ගැනීමට මෙරට සුප්‍රසිද්ධ චොකලට් ආශ්‍රිත නිර්මාණ සිදු කරන ජෙරාර්ඩ් මෙන්ඩිස් චොකොලෙටියර් (Gerard Mendis Chocolatier) සමාගම සමත්ව තිබේ. 

සිය පේස්ට්‍රි නිෂ්පාදන අංශයේ ප්‍රධාන සූපවේදිනිය වන බුද්ධිනී විජේතුංග මෙම නිර්මාණයේ හිමිකාරිනිය බව එම සමාගම පවසයි. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික මනාලියක නිරූපණය වන ආකාරයට ඇය මෙම කේක් නිර්මාණය ඉදිරිපත් කර තිබුණාය. 

මෙම World Culinary Olympics තරගාවලිය ලොව පැරණිතම, විශාලතම සහ විවිධාංගීකරණයට ලක්වූ ජාත්‍යන්තර ඉවුම්පිහිමු කලා තරගාවලිය ලෙස සැලකෙයි. පසුගිය පෙබරවාරි 14 වැනිදා සිට 19 වැනිදා ජර්මනියේ ස්ටට්ගාර්ට්හිදී පැවැත්වුණූ මෙම  World Culinary Olympics තරගාවලිය සඳහා ලංකා සූපවේදීන්ගේ මණ්ඩලය නියෝජනය කරමින් මෙරට සූපවේදීන් 28 දෙනෙකුගෙන් සහ නිලධාරීන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වී ඇත. මෙවර තරගාවලිය සඳහා සාමාජික රටවල් 70ක තරගකරුවන් නිර්මාණ ඉදිරිපත් කළ බව පැවසෙයි.

මෙරට සුප්‍රසිද්ධ කේක් නිර්මාණකරුවෙකු වන ජෙරාර්ඩ් මෙන්ඩිස් මහතාගේ මූලිකත්වයෙන් Gerard Mendis Chocolatier පිහිටුවා තිබේ. එහි ප්‍රධාන අවන්හල සහ අලෙවි සැල කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ පිහිටා ඇත. ලොව සුප්‍රසිද්ධ හෝටල් කිහිපයකම ඉවුම් පිහුම් පිළිබඳ අත්දැකීම් සහිතව 1986 වසරේදී මෙරටට පැමිණ ඇති ජෙරාඩ් මෙන්ඩිස් මහතා කොළඹ හිල්ටන් හෝටලයේ රසකැවිලි නිෂ්පාදන අංශයේ විධායක රසකැවිලි සූපවේදියා ලෙස සම්බන්ධවී තිබේ.

Gerard Mendis Chocolatier සතුව වර්ග 56කට වඩා වැඩි රසයන්ගෙන් යුත් චොකලට් නිෂ්පාදන පවතින බව එහි වෙබ් අඩවිය පවසයි. එසේම චොකලට් තෑගි පෙට්ටි, උපන්දිග කේක්, මංගල උත්සව සඳහා වන කේක් නිර්මාණ ඇතුළු කේක් නිෂ්පාදන රැසක්ම සිදුකරන බවත් එහි සඳහන් වෙයි.

Visits: 50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *