මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරයෙකු පත්වෙයි

මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරයෙකු පත්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා එහි නව නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමාගේ අනුමැතිය සහිත මහ බැංකු මුදල් මණ්ඩලය විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. ඒ අනුව පෙබරවාරි 12 වැනිදා සිට මෙම පත්වීම බලාත්මක වන බව මහ බැංකුව සඳහන් කර සිටියි.

සිරිවර්ධන මහතා මහ බැංකුව තුළ වසර 28කට අධි කාලයක් සේවය කර තිබේ. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සිරිවර්ධන මහතා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව භාර සහකාර අධිපතිවරයා ලෙස කටයුතු කර ඇත. එසේම ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගෙන ඇති සිරිවර්තන මහතා, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක්ද ලබා ගෙන ඇත.

එසේම ඒ මහතා දකුණු හා නැගෙනහිර ආසියානු රටවල මහ බැංකු පුහුණු මධ්‍යස්ථානයේ පර්යේෂණාත්මක අධ්‍යයනයන්හි සහ ශ්‍රී ලංකා මහ බැංකු මාණ්ඩලික පත්‍රිකා ප්‍රකාශනයෙහි ලිපි ගණනාවක්ද පළ කර තිබේ.

මීට අමතරව ඒ මහතා 2017 වසරේ ජූලි මාසයේ සිට 2019 ඔක්තෝබර් දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු සේවයෙන් මුදා හැර තිබේ.

ඊට පෙර සිරිවර්ධන මහතා 2010 ඔක්තෝබර් සිට 2015 අප්‍රේල් දක්වා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල්වරයා ලෙසද, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඇත.

සිරිවර්ධන මහතා ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු/භාණ්ඩාගාර නියෝජිතයෙකු ලෙස සේවය කර ඇතැයිද මහ බැංකුව පවසයි.

මේ වන විට මහබැංකුව සතුව නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනෙකු පත්ව සිටියි. ආචාර්ය නන්දලාල් වීරසිංහ, එච්.ඒ. කරුණාරත්න සහ කේ.එච්.එම්. සිරිවර්ධන එම නියෝජ්‍ය අධිපතිවරුන් වෙයි. ඒ අතරින් නන්දලාල් වීරසිංහ මහතා ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කරයි.

ඡායාරෑපය : සිරිවර්ධන මහතා හිටපු මහබැංකු අධිපතිවරයා සමග…

Visits: 33

Leave a Reply

Your email address will not be published. Required fields are marked *