හේලීස් සමූහය ජූලි 01 වැනිදා සිට ජෙට්ස්ටාර් ඒෂියා මෙරටට රැගෙන එයි

හේලීස් සමූහය ජූලි 01 වැනිදා සිට ජෙට්ස්ටාර් ඒෂියා මෙරටට රැගෙන එයි

මෙරට හේලීස් සමූහය සහ ඔස්ට්‍රේලියාවේ ක්වන්ටස් සමූහයට (Qantas Group) අයත් Jetstar Asia (ජෙට්ස්ටාර් ඒෂියා) සමාගම අතර ඇති කරගත් එකඟතාවක් අනුව ශ්‍රී ලංකාවත් – සිංගප්පූරුවත් අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට සූදානමක් පවතින බව “Economy & Business Sri Lanka” වෙත වාර්තා වෙයි. 

මෙම මෙහෙයුම් ලබන ජූලි 01 වැනිදා සිට ආරම්භ කිරිමට නියමිත බව හේලීස් සමූහය සහ ජෙට්ස්ටාර් ඒෂියා සමාගම සඳහන් කරයි. මෙම එක් ගුවන් ගමන් වාරයක් සඳහා ඔවුන් ඉදිරිපත් කර ඇති මිල ගණන් අනුව එය සිංගප්පූරුවත් – ශ්‍රී ලංකාවත් අතර සිදුවන මිල අඩුම ගුවන් සේවාව බවටත් පත්වීමට නියමිතව ඇත. 

මෙහිදී ජුලි 01 වැනිදා සිට සඳුදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා ලෙස සතියකට සිව් වතාවක් ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් යානා කොළඹ කටුනායක ගුවන් තොටුපොළත් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළත් අතර ගුවන් ගමන් සිදු කිරීමට සැලසුම් කර ඇත. මේ සමග කොළඹ නගරය ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවයේ 25 වැනි ගමනාන්තය බවටත් පත්වෙයි. එසේම මෙරටට පැමිණෙන ක්වන්ටස් සමූහයට අයත් පළමු ගුවන් සේවය වන්නේද ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවයයි.

එසේම එම ගුවන් සේවය චැංගි ගුවන් තොටුපොළේ සිට යළි කොළඹ දක්වා සතියකට දින හතරක් පියාසර කරන අතර, එහිදී යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ අග්නිදිග ආසියාවේ සිට සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත් ගුවන් සමාගම බලාපොරොත්තු තබා තිබේ. 

මෙම අවස්ථාව සම්බන්ධයෙන් ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී බාරා පසුපති මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව මේවනවිට ලොව සංචාරක ගමනාන්ත ලැයිස්තුවේ වඩාත් කැපී පෙනෙන ස්ථානයක් අත්පත් කරගනිමින් සිටින බව පවසා සිටියි. එහිදී සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් නව ගමනාන්ත විවෘත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අරඹන බව ඔහු පවසයි.

මෙහිදී අදහස් දක්වන හෙලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා, හේලීස් සමාගම සහ ඔස්ට්‍රේලියාවේ ක්වන්ටස් සමූහය අතර දිගු කලක් පුරා පවතින සබඳතාව ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවය හරහා තවත් පුළුල් කිරීමට හැකි වූ බව පවසා සිටියි. එසේම මේ හරහා මෙරට සංචාරක කර්මාන්තය වෙත වඩා හොඳ සේවාවක් ලබා දීමට හැකි වෙනු ඇති බවත්, මෙරට ජනතාව වඩාත් සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබාදීමට හැකි වෙනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියි.

ඔස්ට්‍රේලියාවේ ක්වන්ටස් සමූහය යටතේ ක්‍රියාත්මක වන ජෙට්ස්ටාර් එයාර්වේස් ගුවන් සමාගමේ තවත් එක් ගුවන් සේවයක් ලෙස ජෙට්ස්ටාර් ඒෂියා ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව ජෙට්ස්ටාර් ඒෂියා, ජෙට්ස්ටාර් පැසිෆික්, ජෙට්ස්ටාර් ජපානය යන ගුවන් සේවාද එම ගුවන් සමාගම යටතේ පවතී. ඒ අතරින් මෙම ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවයේ කොටස් හිමිකමින් 49%ක් 2004 වසරේ සිට ක්වන්ටස් සමූහය වෙත අයත් හිමිව තිබේ.

Visits: 475

Leave a Reply

Your email address will not be published. Required fields are marked *