ඩයලොග් ආසිආටා වෙත මව් සමාගමෙන් ලැබුණු ඩො.මි. 254ක් BOI සමගින් ආයෝජනයට

ඩයලොග් ආසිආටා වෙත මව් සමාගමෙන් ලැබුණු ඩො.මි. 254ක් BOI සමගින් ආයෝජනයට

මැලේසියාවේ ආසිආටා ගෘප් බර්හාඩ් මව් සමාගමෙන් මෙරට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම වෙත ලැබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 254 ක ආයෝජන මුදල, පරිපූරක එකඟතා දෙකක් යටතේ ආයෝජන මණ්ඩලය (BOI) සමගින් ආයෝජනය කිරීම සඳහා ඩයලොග් පීඑල්සී සමාගම පසුගියදා කටයුතු යොදා ඇත.

ඒ අනුව, මේ මුදලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 190.7ක මුදලක් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම තුළත්, ඉතිරි එක්සත් ජනපද ඩොලර් මිලියන 63.4ක මුදල එහි පරිපාලිත සමාගමක් වන ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (පෞද්ගලික) සමාගම තුළත් ආයෝජනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙහිදී අදාළ ආයෝජන ගිවිසුම් අත්සන් කිරීම ඩයලොග් ආසිආටා පීඑල්සීහි සභාපති  ඩාටුක් අසාට් කමාලුදින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/සමූහයේ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා මලල්ගොඩ යන මහත්ම මහත්මීන් අතර සිදුව තිබේ. 

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් ටැන් යැන්ග් තායි, ආසිආටා ගෘප් බර්හාඩ්හි විධායක අධ්‍යක්ෂ සහ එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස නම් කර ඇති ඩාටෝ මොහ්ද් ඉසදීන් ඉද්රිස්, සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ/සභාපති සහ ආසිආටා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ටාන් ශ්‍රී ජමලුදීන් ඊබ්‍රහීම්, ආසිආටා ගෘප් බර්හාඩ්හි ප්‍රධාන විධායක – සන්නිවේදන ව්‍යාපාර සහ විධායක උප සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය සහ ඩයලොග් ආසිආටා පීඑල්සීහි ලේකම් විරන්ති ආටිගල්ලේ යන මහත්ම මහත්මීන් සම්බන්ධ වී ඇත.

මෙම ආයෝජනයත් සමගින්ම ඩයලොග් සමාගමේ ජංගම දුරකතන සේවාව මෙන්ම ස්ථාවර 4G-LTE ජාලය තවදුරටත් පුළුල් කිරීම සමාගමේ අරමුණ වී තිබේ. එසේම IP සහ Fiber ජාල තාක්ෂණය වෙත යොමුවීමටත්, සමූහයේ wi-fi සහ බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය තවදුරටත් සංවර්ධනය කිරීමත් මෙහිදී අදහස වී ඇත. 

මීට අමතරව ඉදිරියේදී ඩයලොග් සමාගමේ 5G සන්නිවේදන සබඳතා තවදුරටත් දියුණු කිරීමත්, ඒ හරහා ඩයලොග් සමාගම මෙරට 5G තාක්ෂණයේ මුල්තැනට පත්වීමත් අරමුණ වී ඇත. එහිදී සිය පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසදායී සහ වඩාත් ලාභදායී අන්තර්ජාල සබඳතාවක් ලබා දීම සඳහා වන තාක්ෂණික දියුණු කිරීම්ද මෙම ආයෝජනය හරහා සිදු කිරීම ඩයලොග් සමාගමේ අපේක්ෂාවයි.

පෙර ලිපි: ඩයලොග් ආසියාටා වෙත එහි මව් සමාගමෙන් ඩොලර් මිලියන 250ක්

Visits: 238

Leave a Reply

Your email address will not be published. Required fields are marked *