මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ People’s Leasing and Finance හි සභාපති ධුරයට

මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ People’s Leasing and Finance හි සභාපති ධුරයට

People’s Leasing and Finance හි නව සභාපතිවරයා ලෙස මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ඊයේ (පෙබරවාරි 19) දිනයේ සිට පත් කෙරුණු බව එම සමාගම පවසයි. ඒ අනුව රාජපක්ෂ මහතා විධායක නොවන ස්වාධීන නොවන සභාපතිවරයෙකු ලෙස පත් කෙරී ඇතැයි People’s Leasing and Finance සමාගම සඳහන් කරයි.

මෙම පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු – නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් අනුමත කර ඇතැයිද සමාගම පවසයි.

People’s Leasing and Finance සමාගම මහජන බැංකුවේ පරිපාලිත සමාගමක් ලෙස පැවතීම සුජීව රාජපක්ෂ මහතා එහි සභාපතිවරයා ලෙස පත් කරවීමට හේතුවක් වී ඇත.

එහි හිටපු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පසුගිය 19 වැනිදා එම ධුරයෙන් ඉවත්වීමත් සමගම මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මෙම පත්වීම සිදුවන දිනය වනවිටත් සුජීව රාජපක්ෂ මහතා People’s Leasing and Finance සමාගමේ කොටස් 143,054ක හිමිකරුවෙකු බවත් එම සමාගම පවසයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන සුජීව රාජපක්ෂ මහතා දශක හතරකට වඩා වැඩි කාලයක වෘත්තීය අත්දැකීම් සහිත පුද්ගලයෙකු බව People’s Leasing and Finance සමාගම සඳහන් කරයි. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා ලෙස මෙන්ම උප සභාපතිවරයා මෙන්ම කවුන්සිල  සාමාජිකයෙකු ලෙසද තනතුරු දරා තිබේ. 

එසේම ඔහු කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා ලෙසින්ද කටයුතු කළ අතර, 20111 ලෝක කුසලාන තරගාවලියේද භාණ්ඩාගාරිකවරයා ලෙස රාජකාරි කර තිබේ. 

මීට අමතරව ඔහු මේ වනවිට හේලීස් සමූහයට අයත්  Haycarb පීඑල්සී, හේලීස් ඇග්රිකල්චර් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සහ යුනි ඩිල් පැකේජිං ලිමිටඩ්, යුනි ඩිල් පැකේජිං ඇන්ඩ් සොලියුෂන්ස් ලිමිටට් යන සමාගම්වල විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින්ද කටයුතු කරයි. සුජීව රාජපක්ෂ මහතා සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ උප සභාපතිවරයාද වෙයි. 

Visits: 69

Leave a Reply

Your email address will not be published. Required fields are marked *