ආසිරි සෙන්ට්‍රල් රෝහලෙන් මේ වසරේදී මාසිකව නොමිලේ හෘද සායනයක්

ආසිරි සෙන්ට්‍රල් රෝහලෙන් මේ වසරේදී මාසිකව නොමිලේ හෘද සායනයක්

ආසිරි හෙල්ත් සමාගමට අයත් ආසිරි සෙන්‍ට්‍රල් රෝහල මගින් මේ වසරේ සෑම මාසයකදීම නොමිලේ හෘද සායනයක් පැවැත්වීම සඳහා කටයුතු යොදන බව එම සමාගම පවසයි. මෙය එහි තවත් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස සිදු කරන බව ආසිරි සෙන්ට්‍රල් රෝහලේ හිමිකරුවා වන ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතා පවසා සිටියි.

සිය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සතු ආසිරි හෙල්ත් යටතේ ක්‍රියාත්මක රෝහල් ජාලයේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව කොටස් හිමියන් දැනුවත් කරමින් නිකුත් කළ නිවේදනයේ හෙතෙම මේ කරුණු සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම ආසිරි සෙන්ට්‍රල් රෝහල මේ දක්වා ඉතාමත් සාර්ථක ස්නායු සැත්කම් 10,000කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති බවත් ඔහු පවසා සිටියි. ඒ අනුව වඩාත් වගකීම් සහගත සෞඛ්‍ය සේවා සපයන්නෙකු ලෙස එම රෝහල සිය සමාජ සත්කාරක වැඩසටහනක් සේ සලකා මෙලෙස මාසිකව නොමිලේ හෘද සායනයක් පැවැත්වීමට අදහස් කර ඇති බවත් පතිරගේ මහතා පවසා තිබේ.

මේ අතර ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් සමාගම ඉදිරියේදී ඉන්දියාවේ විශාලතම සාඵලත්‍යතා සේවා සැපයුම්කරුවා සමගින් ඇති කරගන්නා හවුල්කාරීත්වයක් මත නවීන පන්නයේ අයි.වී.එෆ්. මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් අදහස් කරගෙන සිටින බව මෙහි සඳහන් වෙයි.

එසේම මේ වනවිට ගාල්ලේ පිහිටි ආසිරි රෝහල තුළ 1.5T මාදිලියේ MRI ස්කෑන් යන්ත්‍රයක් සවි කර ඇති බවත්, මෙය දකුණු පළාතේ ඇති පළමු පෞද්ගලික MRI යන්ත්‍රය බවත් පැවසෙයි. පසුගිය වසරේදී මෙම රෝහල රුපියල් මිලියන 450ක මුදලකට හේමාස් සමූහයෙන් මිලදී ගැනීමෙන් අනතුරුව ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් සමාගම මේ වනවිට එහි අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියි. එයද මේ වසරේ මාර්තු වන විට අවසන් කිරීම අපේක්ෂාව වී තිබේ.

මෙම නිවේදනයේ සඳහන් ආකාරයට ආසිරි රෝහල් සමූහය මගින් ක්‍රියාත්මක ආසිරි හෙල්ත් ව්‍යාපාරය තුළ පසුගිය මූල්‍ය වර්ෂය තුළදී රුපියල් බිලියන 11.7ක ආදායමක් ලැබීමට සමත්ව ඇත. මෙය ඊට පෙර වසරට සාපේක්ෂව 18%ක ආදායම් වර්ධනයකි. 

ආසිරි රෝහල් ජාලය සිදු කළ මෙම සමස්ත ආදායම් ඉපැයීමේදී ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් සමාගම 36%ක් ද, ආසිරි සෙන්ට්‍රල් සහ ආසිරි සර්ජිකල් යන රෝහල් පිළිවෙලින් 32%ක් සහ 23%ක දායකත්වයක් ලබා දී තිබේ. එසේම ආසිරි මාතර සහ ආසිරි හොස්පිටල් ගාල්ල යන රෝහල් මේ සඳහා ලබා දුන් දායකත්වය 9%ක් ලෙස සටහන්ව ඇත.

Visits: 250

Leave a Reply

Your email address will not be published. Required fields are marked *