උතුරේ නව ව්‍යවසාකයන්ට ඉන්දියාවෙන් රුපියල් මිලියන 250ක්

උතුරේ නව ව්‍යවසාකයන්ට ඉන්දියාවෙන් රුපියල් මිලියන 250ක්

උතුරේ අංකුර හා නව ව්‍යවසායකයන් සවිබල ගැන්වීම වෙනුවෙන් ව්‍යපාරික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු රජය කැමැත්ත පළ කර ඇතැයි “Economy & Business SRI LANKA” වෙත වාර්තා වෙයි. මේ සඳහා රුපියල් මිලියන 250ක ප්‍රදානයක් ලබා දීමටද ඉන්දීය රජය සූදානමින් සිටින බව පැවසෙයි. 

එහිදී මෙම නව ව්‍යාපාරික මධ්‍යස්ථානය දැනට වැඩ අවසන් කෙරෙමින් පවතින යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කිරීම සඳහා වන අනුමැතියද කැබිනට් මණ්ඩලය වෙතින් හිමිව තිබේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය හරහා මෙම ප්‍රදානය උතුරේ ව්‍යවසායකයන් වෙත හිමි වන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය ඉන්කියුබේටර්/ඇක්සලේටර්/සමූහ වැඩ අවකාශ සඳහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල එකඟතාව ලැබී ඇත. 

මෙමගින් තොරතුරු සන්නිවේදන තාක්ෂණය, ව්‍යාපාර හා දැනුම පාදක කරගත් ක්‍රියාවලි කළමනාකරණය, විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, කෘෂි තාක්ෂණය, ආහාර තාක්ෂණය, ජෛවතාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි නියුතු අංකුර හා නව ව්‍යවසායකයන් සඳහා සේවා සැපයීමට අපේක්ෂිතව ඇත.

එමෙන්ම අපනයන වෙළෙඳපොළේ වැඩි අවධානය යොමුව ඇති තොරතුරු තාක්ෂණ මෘදුකාංග සංවර්ධනය, ව්‍යාපාර හා දැනුම පාදක කරගත් ක්‍රියාවලි කළමනාකරණය වැනි තොරතුරු තාක්ෂණය සඳහා යොදා ගනු ලබන ක්ෂේත්‍රයන්හි දැනුම පාදක කරගත් සේවා ආයතන සඳහාද මෙම මධ්‍යස්ථානය තුළ කාර්යාල පහසුකම් සැපයීමටද රජය බලාපොරොත්තු වෙයි.

යාපනය මහජන පුස්තකාලය පිහිටි භූමියේ ඉදිකෙරෙන මෙම යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩකටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. එයද ඉන්දීය ආධාර යටතේ ඉදි කෙරෙන්නෙකි. මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 1.8කි. එහිදී මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක්, ශ්‍රවනාගාරයක්, කෞතුකාගාරයක්, කලාගාරයක් ඇතුළු පරිශ්‍ර මෙම සංස්කෘති මධ්‍යස්ථානය වෙත අයත් වෙයි. 

2012 වසරේදී මෙම මධ්‍යස්ථානය සඳහා වන සැලසුම තෝරා ගැනුණු අතර, 2014 වසරේදී එය ඉදිකිරීම් සඳහා ගිවිසුම් අත්සන් කෙරිණි. පසුව 2015 වසරේදී එවකට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකරවීම් සහ පුනරුත්තාපනය කිරීම්, උතුරු පළාත් සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් එහි ඉදිකිරීම් කඩිනම් කෙරිණි. 

Visits: 46

Leave a Reply

Your email address will not be published. Required fields are marked *