සංචාරක කාර්ය සාධක බලකායේ ක්‍රියාකාරී සැලැස්ම සැකැසීමේදී වනජීවී, පුරාවිද්‍යා, මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ප්‍රධානත්වය

සංචාරක කාර්ය සාධක බලකායේ ක්‍රියාකාරී සැලැස්ම සැකැසීමේදී වනජීවී, පුරාවිද්‍යා, මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ප්‍රධානත්වය 

මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සකස් කෙරෙන සංචාරක කාර්ය සාධක බලකායේ ක්‍රියාකාරී සැලැස්ම වෙනුවෙන් වනජීවී, පුරාවිද්‍යා, මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතන ප්‍රධාන කරගත යුතු බව රජය පවසයි.

වසර 2025 වන විට මෙරටට විදෙස් සංචාරකයන් ලක්ෂ 70ක් ආකර්ෂණය කරගනිමින්, සංචාරක ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක් දක්වා වර්ධනය කරගැනීම සඳහා ජනපතිවරයාගේ උපදෙස් අනුව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින් මෙම කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම කාර්ය සාධක බලකායේ ක්‍රියාකාරී සැලැස්ම කඩිනමින් ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශයේ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය වෙත කරුණු දක්වා ඇත. මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වන්නේද එම අමාත්‍යාංශ ලේකම්වරියයි.

මෙම කාර්ය සාධක බලකාය සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය යන ආයතන අයත් වෙයි.

ඒ අනුව මෙම ක්‍රියාකාරී සැලැස්මට ඒ ඒ ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්, උපාය මාර්ග අභියෝග හා අභියෝග ජය ගැනීමට අදාළ යෝජනා ඇතුළත් කරන ලෙස එම ආයතන වෙත උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී සංචාරක හෝටල් – ලැගුම්හල්වල ප්‍රමිතිය ඉහළ නැංවීම, සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සංචාරක පොලිසියේ කාර්යභාරය සවි බල ගැන්වීම යනාදියත් පවතී. 

එසේම කල්පිටිය, කුච්චවේලි, මිරිස්ස, පාසිකුඩා වැනි ඉහළ සංචාරක අකාර්ෂණයක් ඇති ස්ථාන ආශ්‍රිතව යටිතල පහසුකම් වර්ධනය කිරීමට අදාළ සැලසුම්ද ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා දන්වා තිබේ.

මීට අමතරව, සංචාරක පැමිණීම් වර්ධනය කරගැනීම සඳහා විදේශයන්හි සිටින තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්ගේ සහාය ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යෝජනා කරන ලෙසද අදාළ ආයතනවලට දැනුම් දී ඇතැයිද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

Visits: 26

Leave a Reply

Your email address will not be published. Required fields are marked *