මහ කන්නයේ වී මිලදී ගැනීමේදී යුද හමුදාවේ සහාය

මහ කන්නයේ වී මිලදී ගැනීමේදී යුද හමුදාවේ සහාය

මෙවර මහ කන්නයේදී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ කටයුත්ත සඳහා යුද හමුදාව වී අලෙවි මණ්ඩලය වෙත සහාය දක්වන බව රජය පවසයි. ජනාධිපතිවරයාගේ නියමෙන් යුද හමුදාපතිවරයාගේ උපදෙස් අනුව යුද හමුදාව මෙම සහාය ලබා දී තිබේ. විශේෂයෙන්ම ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී සිදුවන මාෆියාව නැති කිරීම යුද හමුදාව මේ සඳහා මැදිහත් කරවීමේ මූලික අරමුණ වී ඇත.

මෙහිදී අදාළ වැඩසටහන යුද හමුදාවේ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනාරච්චි මහතාගේ සම්බන්ධීකරණය යටතේ සිදු වන බව පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත ගෙන ආ වාර්තාවක සදහන් වෙයි. 

ඒ අනුව යුද හමුදාව මෙම වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයමින්, වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පිළිසකර කරමින් සහ වී මිලදී ගැනීම සහ ගබඩා කිරීමේදී අවශ්‍ය සහාය ලබා දෙමින් ඊට දායකත්වය ලබා දෙයි. 

“ගොවීන්ට තමන්ගේ වී අස්වනු සඳහා උපරිම මිලක් හිමිකර දීම යුද හමුදාව මේ සඳහා මැදිහත්වීමේ මූලිකම අරමුණ වෙනවා. ඒ වගේම මේ අස්වනු කුණුකොල්ලයට මිලදී ගෙන අතරමැදියන් අධික ලාභ ඉපැයීම වැළැක්වීමත් අපේක්ෂාවක්.” බ්‍රිගේඩියර් වරයා පුවත්පත වෙත පවසා තිබේ.

එසේම වන අලින්ගෙන් තර්ජන එල්ල වන බවට වාර්තා වන වී අලෙවි මණ්ඩලය සතු ගබඩා වෙත ආරක්ෂා සැපයීමටද යුද හමුදාව මැදිහත්ව සිටියි.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව මෙවර මහකන්නයේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීමට රජය කටයුතු යොදා තිබේ. එහිදී ගොවියාට විශේෂ වරප්‍රසාදයක් ලබා දෙමින් ප්‍රථම වරට තෙතමනයක් සහිත වී මිලදී ගැනීම සඳහාද රජය පියවර ගෙන ඇත. 

“පසුගිය වසර වල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38කට හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41කට මිලදී ගත් අතර, මෙවර සියලුම වර්ගයේ වී සඳහා ඉහළ මිලක් ලබා දෙමින් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50කට රජය විසින් මිලදී ගනු ලැබේ.” චක්‍රලේඛයේ සඳහන් විය.

මෙහිදී යුද හමුදාව වී අලෙවි මණ්ඩලය, වී වගා කරන ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්කාර්යාල සහ ගොවි සංගම් අතර සම්බන්ධීකරණයක් ඇති කරමින් වී මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සපයාදී තිබේ.

වාර්තා සදහන් කරන ආකාරයට මෙවර මහ කන්නයේ වී  එකතු කිරීම ආරම්භ වුණු පසුගිය ජනවාරි 29 වැනිදා සිට පසුගිය පෙබරවාරි 13 වැනිදා දක්වා කාලසීමාව තුළදී වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී කිලෝග්‍රෑම් 4,528,160ක් මිලදී ගෙන ඇති අතර, ඒ සදහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 226 (රුපියල් 226,408,000) කි.

මෙහිදී නාඩු, සුදු සම්බා, කීරි සම්බා, රතු සම්බා, රතු නාඩු සහ සුදු නාඩු යන සහල් වර්ග මෙහිදී මිලදී ගැනීම සිදු කර ඇතැයි බ්‍රිගේඩියර්වරයා වැඩිදුරටත් පවසා ඇත.

Visits: 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *