මැඩ්රිඩ් ප්‍රොටොකෝලයට අනුගතවීමට මෙරට බුද්ධිමය දේපළ පනත සංශෝධනයට

මැඩ්රිඩ් ප්‍රොටොකෝලයට අනුගතවීමට මෙරට බුද්ධිමය දේපළ පනත සංශෝධනයට

2003 අංක 36 දරණ මෙරට බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි  රජය පවසයි. ඊට අදාළ යෝජනාව උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. 

වෙළෙඳ ලකුණු ලියාපදිංචි කිරීම සඳහා ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) මගින් පරිපාලනය කරනු ලබන මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට (Madrid Protocol) ශ්‍රී ලංකාව ප්‍රවේශ විය යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනා සාක්ෂාත් කරගැනීම සඳහා මෙලෙස පනත සංශෝධනය කිරීමට නියමිතව තිබේ.

විශේෂයෙන්ම මෙරට බුද්ධිමය දේපළ කාර්යාලය වෙත සිය වෙළෙඳ ලකුණු හෝ සේවා ලකුණු ලියාපදිංචි කිරිම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට එම කාර්යාලය හරහා ඍජුවම ජාත්‍යන්තරව එම කාර්යයන් ඉටු කරගැනීමට දැනට නෛතික ප්‍රතිපාදන නොමැති බව රජය පවසයි.

එහිදී එම කටයුතු සාර්ථක කරගැනීමට එක් එක් රටවල බුද්ධිමය දේපළ නියෝජිතයන් මගින් වෙන් වෙන්ව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුව ඇත. එහෙත් මෙම මැඩ්රිඩ් ගිවිසුම වෙත පිවිසීම හරහා වෙළෙඳ හා සේවා ලකුණු ජාත්‍යන්තරව ලියාපදිංචි කිරීම ක්‍රියාත්මක කළ හැකි බව රජය පවසයි.

එහිදී මෙරට අපනයනකරුවන්ට අධිකරණ බලසීමා සමූහයකදී වෙළෙඳ ලකුණු ආරක්ෂා කර ගැනීම සඳහා විශ්වසනීය, පහසු සහ පිරිවැය ඵලදායී ක්‍රමයක් මෙම මැඩ්රිඩ් ක්‍රමවේදය මගින් සලසන බව රජය පෙන්වා දී සිටියි.

ඒ අනුව එම ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තරව අයදුම්පත් ඉදිරිපත් කිරීම පහසු කිරීම මගින් ශ්‍රී ලාංකික වාණිජ ප්‍රජාව දිරිපත් කිරීම අරමුණු කොට ගෙන ශ්‍රී ලංකා රජය මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශවීමට තීරණය කර තිබේ.

Visits: 41

Leave a Reply

Your email address will not be published. Required fields are marked *