හිටපු රේගු අධ්‍යක්ෂ ජගත් පී.විජේවීර DLB සභාපති පුටුවට

හිටපු රේගු අධ්‍යක්ෂ ජගත් පී.විජේවීර DLB සභාපති පුටුවට

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විශ්‍රාමික ජගත් පී. විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මුදල් අමාත්‍යවරයා විසින් පත් කර ඇතැයි වාර්තා වෙයි. ඒ මහතා පෙබරවාරි 10 වැනිදා සිය ධුරයේ වැඩභාර ගෙන තිබේ.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු ලලිත් පියුම් පෙරේරා මහතා පසුගියදා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව මෙම පත් වීම සිදු කර ඇත. මීට පෙර ලලිත් පියුම් පෙරේරා මහතාට ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරය ලබා දුන් අතර, ඔහු එයද ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස පත්වීම් ලබමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජගත් පී. විජේවීර මහතා වසර 35ක් රාජ්‍ය පරිපාලනය පිළිබඳව අත්දැකීම් සහිත අයෙකු බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

සිය වෘත්තීය ජීවිතය තුළ විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුව ධුරයන් හොබවා ඇති ජගත් පී. විජේවීර මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද කලක් සේවය කර ඇත.

එසේම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද සේවය කරමින් අත්දැකීම් පරිපූර්ණ වූ ජගත් මහතා, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද සේවය ලබා දී තිබේ.

පසුගිය රජය සමයේදී දැඩි කතාබහට ලක් වූ සඳගිරි සෑය ඉදිකිරීම සඳහා රත්රන් බුදු පිළිම නිර්මාණයට රේගුව භාරයේ තිබූ රත්රන් ප්‍රමාණයක් ලබාදීමේ චෝදනාව එල්ල වූ රේගු නිලධාරීන් දෙදෙනා අතර, එවකට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජගත් පී. විජේවීර මහතාද විය.

Visits: 40

Leave a Reply

Your email address will not be published. Required fields are marked *