රාජ්‍යයන් 4ක් සමග සංචාරක අවබෝධතා ගිවිසුම් වෙත පිවිසීම “කොරෝනා” නිසා ප්‍රමාදයිලු

රාජ්‍යයන් 4ක් සමග සංචාරක අවබෝධතා ගිවිසුම් වෙත පිවිසීම “කොරෝනා” නිසා ප්‍රමාදයිලු

සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් චීනය, ඉරානය, පාකිස්තානය සහ එස්තෝනියාව යන රාජ්‍යයන් හතර සමගින් ශ්‍රී ලංකාව සැලසුම් කර තිබූ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් නව කොරෝනා වෛරසය හේතුවෙන් ටික කලකට ප්‍රමාද විය හැකි බව රජය පවසයි.

මෙම ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් සඳහා වන කැබිනට් මණ්ඩල අනුමැතියද දැනටමත් හිමිව තිබේ. එසේම ඉදිරියේදී දකුණු අප්‍රිකාව හා ජෝර්ජියාව යන රටවල් සමගින්ද මෙවැනි ද්විපාර්ශ්වික සබඳතා අත්සන් තැබීමට අපේක්ෂා කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියි.

ඒ අනුව, නව කොරෝනා වෛරසය නිසා කඩා වැටී ඇති ලෝකයේ සංචාරක ව්‍යාපාරය යළිත් යථා තත්ත්වයට පත් වූ වහාම මෙම ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

දැනටමත් ශ්‍රී ලංකාව ලොව රාජ්‍යයන් 10ක් සමගින් සංචාරක ප්‍රවර්ධනය සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේ. ඉන්දියාව, තායිලන්තය, සීෂෙල්ස්, පෝලන්තය, තජිකිස්තානය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, රුසියාව, දකුණු කොරියාව හා පිලිපීනය එම රාජ්‍යයන් වෙයි.

මෙම ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් යටතේ දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඒවා සැලසුම් කිරීම වැනි කටයුතු ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් හරහා සිදු වන බව අමාත්‍යාංශය පවසයි. 

එසේම ඇතැම් දියුණු රටවල් මෙවැනි අවබෝධතා ගිවිසුම් හරහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

“ලෝකයේ ඇති වන හදිසි ආපදා තත්ත්වයන්හිදී මෙවැනි ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත් වෙනවා. බොහෝ දියුණු රටවල් එවැනි ආපදා තත්ත්වයන්හිදී තමන් සමග ගිවිසුම්ගතව සිටින කුඩා රටවලට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා. මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට මෙවැනි අවබෝධතා ගිවිසුම් අතිශයින් වැදගත්.” අමාත්‍යවරයා පවසා සිටියි.

Visits: 44

Leave a Reply

Your email address will not be published. Required fields are marked *