ජපානය සැහැල්ලු දුම්රියට (LRT) ණය දුන්නේ මෙරට කාන්තාවන් ගැන සිතලාලු

ජපානය සැහැල්ලු දුම්රියට (LRT) ණය දුන්නේ මෙරට කාන්තාවන් ගැන සිතලාලු

කොළඹ නගරය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා ජපාන රජය ණය ආධාර මුදලක් ලබා දි ඇත්තේ මෙරට තුළ පවතින ස්ත්‍රී – පුරුෂ භේදය පිටුදැකීම පිළිබඳ දැක්මකින් යුක්තව බව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA – Japan International Cooperation Agency) පවසයි. 

Japan Jornal LTD. සමාගම මගින් ප්‍රකාශයට පත් කරන The Japan Journal හි 2020 ජනවාරි – පෙබරවාරි කලාපය තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ.

ඒ අනුව, මූලිකවම දියුණු වෙමින් පවතින රටවල ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාව බලගැන්වීම සඳහා තමන් මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරවන බව JICA ආයතනය පෙන්වා දෙයි. 

එහිදී ශ්‍රී ලංකාවට අමතරව දිල්ලි මෙට්රෝ සේවාව සඳහා මීට පෙර අවස්ථාවකදී ආධාර ලබා දුන්නේද ඒ හරහා කාන්තාවන්ට – මිත්‍රශීලී යටිතල පහසුකමක් සහ පරිසරයක් බිහි කිරීමේ අරමුණින් බවද ඔවුන් පවසා සිටියි. 

1995 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2002 වසරේදී විවෘත කෙරිණි. කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි විවෘත කෙරුණේ 2010 වසරේදීය. අද වන විට මෙම දුම්රිය තුළ කාන්තා දුම්රිය රියදුරුවරියන්ද සේවයේ යෙදී සිටියි.

2019 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රජය සහ JICA ආයතනය අතර ඇති කරගත් ණය එකඟතාවකට අනුව කොළඹ නගරය තුළ මෙම සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය පිහිටුවීම සඳහා කටයුතු ආරම්භ කෙරීණි. LRT – Light Rail Transit ලෙස ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ සහ එහි උපනගර එකිනෙක සම්බන්ධ කරවීම අරමුණ වී තිබේ. එහිදී කිලෝමීටර් 15.7ක දුරකින් යුක්තව කණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය මාර්ගයක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි. වසර 2021 දී ආරම්භ වන මෙහි ඉදිකිරීම් වසර 2025 වන විට නිම කිරීම සැලසුම වී තිබේ.

අද වනවිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරව ඇත්තේ වත්මන් නාගරික සංවර්ධන, ජල සැපයුම් සහ නිවාස පහසුකම් පිළිබඳ අමාත්‍යාංශයටයි. ඒ අනුව එම අමාත්‍යාංශය මේ වනවිටත් JICA ආයතනය සමගින් එක්ව ස්ත්‍රී පුරුෂ ක්‍රියාකාරී සැලසුමක් (GAP – Gender Action Plan) සකස් කරමින් සිටින බවත් මෙම ලිපිය සඳහන් කර සිටියි.

මෙහිදී විශේෂයෙන්ම අදාළ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සිට එය ක්‍රියාත්මක කිරීම දක්වා වූ කාර්යයේදී කාන්තාවන්ගේ දායකත්වය ලබා ගැනීම මෙන්ම කාන්තාවන්ට පහසුකම් සැලසීය පිළිබඳව අවධානය යොමු වී තිබේ. 

ඒ අනුව, උදාහරණයක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය මාර්ගයට අයත් දුම්රිය ස්ථාන තුළ පිරිමින් සහ කාන්තාවන් සඳහා වෙන් වූ වැසිකිලි පහසුකම් ඉදිකිරීම, හදිසි සංඥා පද්ධති, ආරක්ෂක කැමරා, කාන්තාවන් සහ පිරිමින් සඳහා වෙන් වූ ටිකට් කවුන්ටර, පිරිමි සහ කාන්තා ආරක්ෂක නිලධාරීන් සේවයේ යෙදවීම, කාන්තාවන්, දරුවන් සහ වැඩිහිටි පුද්ගලයන් සඳහා ප්‍රමුඛතා ආසන ලබාදීම, කාන්තාවන්ට පමණක් වෙන් වූ දුම්රිය මැදිරි යෙදවීම යනාදියද වෙයි.

එසේම මෙම සැහැල්ලු ඉදිකිරීම් කටයුත්ත සඳහාද කාන්තාවන් සම්බන්ධ කරගැනීම සිදුකළ යුතු බව JICA ආයතනය පවසයි. ඒ අනුව සෑම ඉදිකිරීම් පරිශ්‍රයකම කාන්තාවන් වෙත පහසුකම් සැලසිය යුතු බවත්, කාන්තාවන් සහ පිරිමින් සිදු කරන එක සමාන රාජකාරි වෙනුවෙන් එක සමාන වැටුප් ගෙවීමක් සිදුවිය යුතු බවත් ඔවුන් පවසයි. 

මීට අමතරව සැහැල්ලු දුම්රිය මාර්ගය මත දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමේදී එම දුම්රිය ධාවනය සඳහා කාන්තා රියදුරුවරියන් සහ කාන්තා කොන්දොස්තරවරියන් යෙදවීමත්, ටිකට් කවුන්ටර සහ ටිකට් පරීක්ෂා කිරීම් සඳහා කාන්තාවන් යෙදවීමත් වැදගත් බව ඔවුන් පෙන්වා දෙයි. එසේම මේ සියලුම අවස්ථාවලදී ඔවුන් කිසිදු ලිංගික අඩත්තේට්ටමකට ලක් නොවීම සම්බන්ධයෙන්ද දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවත් JICAආයතනය සඳහන් කරයි.

“මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කර්මාන්ත වෙත කැපී පෙනෙන බලපෑමක් එල්ල කරාවි කියලා මට හිතෙනවා. මේ නව සැහැල්ලු දුම්රිය මාර්ගයේ රියදුරන් සහ ඉංජිනේරුවරුන් ලෙස කාන්තාවන් වැඩ කරනවා තරුණ කාන්තාවන් දැකීම හරහා සමාජයේ කාන්තා දායකත්වය පිළිබඳ උත්තේජකයක් වේවි. ඒ වගේම ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය වෙත කාන්තා දායකත්වය සම්බන්ධයෙන් මෙය හොඳ පණිවුඩයකුත් ගෙන දේවි.” යනුවෙන් මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන චමින්ද ආරියදාස මහතා The Japan Journal වෙත පවසා ඇත.

මෙම සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා අවශ්‍ය භූමිය හඳුනාගැනීම සහ ඒවා අත්පත් කරගැනීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින අතර, දුම්රිය මාර්ගයට අවශ්‍ය කුලුණු ඉදිකිරීම සඳහා සුදුසු ස්ථානද මේ වනවිට හඳුනාගෙන ඇත.

Visits: 85

Leave a Reply

Your email address will not be published. Required fields are marked *