පුවත්මූල්‍ය

2018 දී රට තුළ සිදු වුණු සැකකටයුතු මුදල් ගනුදෙනු සංඛ්‍යාව 1,022ක්

2018 දී රට තුළ සිදු වුණු සැකකටයුතු මුදල් ගනුදෙනු  සංඛ්‍යාව 1,022ක්

මෙරට තුළ මුදල් වංචා වැළැක්වීම සඳහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය වෙත පසුගිය 2018 වසරේදී සිදුවුණු සැකකටයුතු ගනුදෙනු (STR – Suspicious Transaction Reports) පිළිබඳ වාර්තාවීම් සංඛ්‍යාව 1,022ක් බව වාර්තා වෙයි. 

එම ඒකකය පසුගියදා නිකුත් කළ සිය 2018 වාර්ෂික වාර්තාව තුළ මේ බව සඳහන් වී තිබේ. ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී සංවිධාන වෙත මුදල් සැපයීම යනාදී කාරණා වැළැක්වීම වෙනුවෙන් මෙම මූල්‍ය බුද්ධි ඒකකය ක්‍රියාත්මක වෙයි.  

ඒ අනුව, මෙය 2017 වසරේදී වාර්තා වුණු එවැනි සැකකටයුතු මුදල් ගනුදෙනු 925ට සාපේක්ෂව යම් වර්ධනයක් පෙන්වන බවද මූල්‍ය බුද්ධි ඒකකය සඳහන් කරයි. එසේම 2006 වසරේදී එම ඒකකය පිහිටුවීමෙන් අනතුරුව වාර්තා වුණු ඉහළම සැකකටයුතු මුදල් ගනුදෙනු සංඛ්‍යාවද මෙය බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ අතරින් වැඩිම සැකටයුතු ගනුදෙනු සංඛ්‍යාවක් පිළිබඳව වාර්තා කෙරී ඇත්තේ ඒ පිළිබඳව දැනුම් දිය යුතු බවට සඳහන් මූල්‍ය ආයතන වෙතිනි. එම සංඛ්‍යාව 775 කි. මෙරට ක්‍රියාත්මක වානිජ බැංකු, වෙනත් මූල්‍ය ආයතන සහ නම් කළ මූල්‍ය නොවන ආයතන ඇතුළු මුදල් පිළිබඳ ගනුදෙනු කරන ආයතන මගින් මෙම තොරතුරු ලැබී ඇත. 2017 වසරේදී එලෙස ලැබී ඇති සිද්ධීන් සංඛ්‍යාව 766ක් විය. 

මේ අතරම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ඇතුළුව දෙස් විදෙස් ආයතන හරහා ලැබුණු සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාවීම් සංඛ්‍යාව 227කි. 2017 වසරේදී එය 157ක් ලෙස සටහන්ව ඇත. 

මීට අමතරව 2018 වසරේදී මහජන පැමිණිලි හරහා වාර්තා වුණු සැකටයුතු ගනුදෙනු පිළිබඳ සිදුවීම් සංඛ්‍යාව 20කි. 2017 වසරේදී එය 2කි.

2018 වසරේ ලැබී ඇති මෙම සැක කටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාවීම් අතරින් වැඩිම සංඛ්‍යාව තනි පුද්ගලයන් හා සම්බන්ධ සිදුවීම්ය. එය 90% ඉක්මවා තිබේ. එසේම විවිධ දේශීය/විදේශීය සමාගම්, හවුල්කරුවන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හා අරමුදල් සහ සමාජ සම්බන්ධයේ එල්ල වුණු සැකකටයුතු ගනුදෙනුද මේ අතර පවතී.

මේ වාර්තාවීම් අතරින්ද වැඩිම සැකකටයුතු ගනුදෙනු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඉතිරි කිරීමේ ගිණුම් හරහාය. එසේම ජංගම ගිණුම් හරහාද සැලකිය යුතු සැක කටයුතු ගනුදෙනු සිදුව තිබේ. මීට අමතරව ක්‍රෙඩිඩ් සහ ඩෙබිඩ් කාඩ් මෙන්ම විදේශ මුදල් ගිණුම් හරහාද මෙවැනි ගනුදෙනු සිදුව ඇති බවටද කරුණු වාර්තා වී ඇත.

මීට අමතරව, 2018 වසරේදී වාර්තා වුණු සැකකටයුතු ගනුදෙනු සමස්තය අතරින් ගනුදෙනු 89ක් ත්‍රස්තවාදී සංවිධාන වෙත මුදල් සැපයීම පිළිබඳව වාර්තා වී ඇත. එසේම ගනුදෙනු 167ක් මුදල් විශුද්ධිකරණය යටතට  අයත් වෙයි. 

මෙලෙස සැකකටයුතු ගනුදෙනු සහ මුදල් විශුද්ධිකරණ/ත්‍රස්තවාදී සංවිධාන වෙත මුදල් සැපයීම යන කරුණු සලකා බලා මූල්‍ය කාර්ය සාධක බලකාය මගින් ශ්‍රී ලංකාව එම කාර්ය සාධක බලකායේ “අළු ලැයිස්තුවට” ඇතුළත් කර තිබුණි. 

ඒ අනුව පසුගිය 2019 වසරේදී මෙම ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම මූලිකම අරමුණ වී තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසර අවසන් වනවිට එම ඉලක්කය සාක්ෂාත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව මහ බැංකුව පසුගියදා නිකුත් කළ “2020 පෙරදැක්ම” තුළත් සඳහන් කර තිබේ.

2006 වසරේ අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ මෙම ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය පිහිටුවීම සිදුවිය. එසේම මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය එක්ව 2011 වසරේ සිට පවත්වාගෙන යන LankaFIN තොරතුරු පද්ධතිය හරහා මේ සියලුම තොරතුරු ඉලෙක්ට්‍රොනිකව වාර්තාවීම මෙලෙස තොරතුරු රැසක් හඳුනාගැනීමට හේතුව බව පැවසෙයි.

මෙලෙස 2018 වසරේදී වාර්තා වුණු මෙම සැකකටයුතු මුදල් ගනුදෙනු අතරින් වැඩිම ප්‍රමාණයක් “සැක කටයුතු” තත්ත්වයට පත්වීම සඳහා හේතු වී ඇත්තේ ඒවා සතු අතිවිශාල මුදල් ප්‍රමාණය/අසාමාන්‍ය මුදල් තැන්පතු/ ගනුදෙනු කරන ක්‍රමවේදයකට අනුව සිදු නොවූ මුදල් ආපසු ගැනීම් යන කාරණාය. එසේම කිසිදු තාර්කික ආර්ථික කාරණාවකින් තොරව සිදුවුණු මුදල් ගනුදෙනුද මෙහිදී සැකයට භාජනය වී ඇත.

මේ අතරම ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සඳහන් කරන ආකාරයට නම් කළ මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන්ද මෙහිදී සුපරික්ෂාවට ලක් කිරීමක් සිදු වෙයි. එහිදී ඉහළ අවදානමක් පවතින ක්ෂේත්‍ර ලෙස කැසිනෝ, දේපළ වෙළෙඳාම් නියෝජිතයන්, වටිනා මැණික් සහ වටිනා ලෝහ ගනුදෙනුකරුවන් නම්ව තිබේ. එසේම නීතීඥයන් සහ නොතාරිස්වරුන් මධ්‍යම අවදානමක් සහිත වූවන් ලෙසත්, ගණකාධිකාරිවරුන් සහ අරමුදල් සහ සමාගම් වෙත සේවා සපයන්නන් මධ්‍යම අඩු අවදානමක් සහිත වූවන් ලෙසත් නම්ව තිබේ.

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය වෙත අවශ්‍ය තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් 2010 සිට 2018 වසර දක්වා විවිධ රාජ්‍ය ආයතන සහ දෙපාර්ත‍මේන්තු සමග අවබෝධතා ගිවිසුම් වෙත පිවිස තිබේ.

ඒ අනුව ලංකා රේගුව, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය ඊට අයත් වෙයි. විනිමය හා සුරැකුම්පත් කොමිසම, රක්ෂණ නියාමන කොමිසම මෙන්ම රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමගද මූල්‍ය බුද්ධි ඒකකය අවබෝධතා ගිවිසුම් අත්සන් තබා ඇත. එසේම 2019 වසරේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය යන ආයතන සමගින්ද මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබේ.

Views: 66

Leave a Reply

Your email address will not be published. Required fields are marked *