ශ්‍රී ලංකා මාර්ග සිතියමේ 8 වැනි සංස්කරණය එළි දකී

ශ්‍රී ලංකා මාර්ග සිතියමේ 8 වැනි සංස්කරණය එළි දකී

මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රී ලංකා සංචාරක මාර්ග සිතියමේ 8 වැනි සංස්කරණය එළිදැක්වීම පසුගියදා කොළඹ පිහිටි එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු විය. සර්වේ ජනරාල් පී. සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි.

2015 වසරේදී සංශෝධිත මෙට්‍රික් ක්‍රමය යොදා ගනිමින් (1:50,000 පරිමාණයට එනම් සෙ.මී.1 ක් = කි.මී. 50ක් අනුව) මෙම මාර්ග සිතියමේ අටවැනි සංස්කරණ නිර්මාණය කෙරුණු බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට පෙර 2009 වසරේදීද මෙට්‍රික් ක්‍රමය සංශෝධනයට ලක් කර තිබේ.

මෙම නව සිතියම සකස් කිරීම සඳහා අවශ්‍ය දත්ත සම්පාදනය වෙනුවෙන් සිය දෙපාර්තමේන්තුව චන්ද්‍රිකා තාක්ෂණය මෙන්ම භූ-මට්ටමේ සිතියම්කරණ තාක්ෂණයද යොදා ගත් බව සංගක්කාර මහතා පවසයි. ඒ අනුව වඩාත් නිවැරදි සහ විශ්වාසනීය නව සිතියම් සංස්කරණයක් නිර්මාණයට හැකි වූ බවත් ඔහු සඳහන් කරයි. 

මෙම නව ශ්‍රී ලංකා මාර්ග සිතියම තුළ කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය,  අධිවේගී මාර්ග, පොලිස් ස්ථාන, රෝහල් සහ සංචාරකයන් සඳහා අතිශය වැදගත් ස්ථාන පිළිබඳව සටහන් කර ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මෙම සිතියමේ පිටුපස පැත්තේ ශ්‍රී ලංකාවේ දුම්රිය සිතියම්, කොළඹ නගරසීමාවේ බස් රථ ධාවන සිතියම සහ අතිශය වැදගත් දුරකතන අංකද සටහන් කර තිබේ.

දෙපාර්තමේන්තුව මගින් එකතු කරගත් මෙම දත්ත ඉදිරියේදී ගූගල් මැප්ස් වෙත ලබා දෙන බවත්, ඒ අනුව මෙම දත්ත එහි යාවත්කාලීන කළ හැකි බවත් පවසයි.

මෙලෙස නිකුත් වුණු ශ්‍රී ලංකා සංචාරක මාර්ග සිතියමේ 8 වැනි සංස්කරණය මිලදී ගැනීමට අවශ්‍ය ජනතාවට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල තුළ පිහිටි සිතියම් අලෙවි ශාඛා හරහා ලබන අප්‍රේල් මාසයේ සිට ඒවා ලබා ගත හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතරම මෙම ශ්‍රී ලංකාවේ සංචාරක මාර්ග සිතියම නිරන්තරයෙන්ම වෙනස් කිරීමටත්, මෙම වසර අවසන්වීමට පෙරාතුව ශ්‍රී ලංකාවේ විශාල නගර ප්‍රදේශවලට අදාළ සිතියම් නිකුත් කිරීමටත් බලාපොරොත්තු වන බව සර්වේ ජනරාල් පී. සංගක්කාර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පළමුවරට ශ්‍රී ලංකාව තුළ මාර්ග සිතියමක් සකස් කර ඇත්තේ 1902 වසරේදී එනම් යටත් විජිත පාලන සමයේදීය. එය “ලංකා මාර්ග සිතියම” ලෙස නම් වී තිබේ. එම කාල සීමාවේදී සිතියම්කරණය සැතපුම් 1 : 8 පරිමාණයෙන් සිදුකර තිබේ. එහෙත් පසුව 1922 දී සහ 1959 දී සංශෝධනයට ලක් කෙරී ඇත. අනතුරුව ශ්‍රී ලංකාවේ සිතියම් නිර්මාණය මෙට්‍රික් ක්‍රමයට හැරවුණු අතර, 1984 දී  1 : 500,000 පරිමාණයෙන් මෙම සිතියම් ඇඳීම සිදු වුණු බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි.

Visits: 825

Leave a Reply

Your email address will not be published. Required fields are marked *