බෙන්හෝල්ඩිංග්ස් ආයතනය සහ ස්කයි මීඩියා නෙට්වර්ක් අතර ගනුදෙනුවක්

බෙන්හෝල්ඩිංග්ස් ආයතනය සහ ස්කයි මීඩියා නෙට්වර්ක් අතර ගනුදෙනුවක්

ස්වර්ණවාහිනී, Etv යන රූපවාහිනි නාලිකා හා ශ්‍රී fm, රන් fm සහ E fm යන ගුවන් විදුලි නාලිකා අයත් ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටිං කොම්පැනි සමාගමේ හිමිකාරීත්වය සහිත බෙන්හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම, සිත fm, රස fm (මේ වනවිට දෙමළ නාලිකාවක පරීක්ෂණ විකාශයක් සිදු කරයි), RED Fm, CRI ශ්‍රී ලංකා යන ගුවන් විදුලි නාලිකා, NEWS 24 පුවත් සන්නාමයේ සහ තවත් රූපවාහිනි (CCTV/Newsi) නාලිකා බලපත්‍ර සහිත ස්කයි මීඩියා නෙට්වර්ක් පෞද්ගලික සමාගම අතර යම් ගනුදෙනුවක් සිදුව ඇතැයි “ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා” වෙත වාර්තා වෙයි.

පසුගිය මාස කිහිපය පුරාම මෙම ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කෙරී ඇති අතර, එහි අවසන් එකඟතාවකට පැමිණීම මෑතකදී සිදුව තිබේ. ඒ අනුව බෙන්හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම මගින් ස්කයි මීඩියා නෙට්වර්ක් අයිතිය මෙහිදී පවරා ගැනීමක් සිදුව ඇති බව සඳහන් වෙයි.

මෙම පවරා ගැනීමෙන් අනතුරුව බෙන් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් නුගේගොඩ ජුබිලි කණුවේ පිහිටි ස්කයි මීඩියා නෙට්වර්ක් පෞද්ගලික සමාගම් පරිශ්‍රය වෙත පැමිණ එහි නිරීක්ෂණයකද යෙදී ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 

එසේම ආසන්න වසර කිහිපයේදී ලැබූ ආයතනික පාඩුවත් සමගින්ම මාස ගණනාවක් පුරා නොගෙවමින් තිබූ ස්කයි මීඩියා නෙට්වර්ක්හි සේවකයන්ගේ හිඟ වැටුප්ද ලබන සතිය වන විට ගෙවීමේ හැකියාවක් පවතින බවට එහි කළමනාකාරිත්වය විසින් එහි සේවකයන් වෙත දන්වා තිබේ.

මේ වනවිට ස්කයි මීඩියා නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ නිල වෙබ් පිටුවේ සටහන්ව ඇත්තේ සිත Fm, RED Fm සහ NEWS 24 පුවත් සන්නාමය පමණකි. ඒ අතරින් වෙබ් අඩවියක් ලෙස ක්‍රියාත්මක වන්නේ NEWS24.lk පමණකි.

මේ අතරම මහින්ද රාමනායක මහතාට අයත් MGMR නෙට්වර්ක්ස් සමාගමද බෙන්හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම විසින් අත්පත් කරගැනීමේ අවස්ථාවක් පිළිබඳවද වාර්තා වී තිබේ. 

යාත්‍රා fm ගුවන් විදුලිය සහ පරීක්ෂණ විකාශයක් ලෙස පවත්වාගෙන යන රූපවාහිනි නාලිකාවක්ද (මීට පෙර එය මැක්ස් ටීවී සහ YOU TV නම් විය) MGMR නෙට්වර්ක්ස් සමාගම මගින් පවත්වා ගෙන යයි. 

මේ තත්ත්වයත් සමගින්ම බෙන්හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමට අයත් ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටිං කොම්පැනි සමාගම වෙත අයත් රූපවාහිනි නාලිකා සංඛ්‍යාව තුනක් හෝ හතරක් (ස්වර්ණවාහිනී, Etv, CCTV/Newsi, MGMR වෙත අයත් නාලිකාව) බවට පත්වීමට නියමිතව ඇත. 

එසේම ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටිං කොම්පැනි සමාගම වෙත අයත් ගුවන් විදුලි නාලිකා සංඛ්‍යාව හයක් හෝ හතක් (ශ්‍රී fm, රන් fm, E fm, සිත fm, රස fm(මේ වනවිට දෙමළ නාලිකාවක පරීක්ෂණ විකාශයක් සිදු කරන), RED Fm, CRI ශ්‍රී ලංකා සහ යාත්‍රා fm)  බවට පත්වීමට නියමිතව ඇත. 

මෙම බෙන් හෝල්ඩිංග්ස් සමාගම මෙරට උපත ලබා බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපය තුළ සිය ව්‍යාපාරික කටයුතු සිදුකරන සුප්‍රසිද්ධ ව්‍යාපාරික අලිරාජා සුභාෂ්කරන්ට අයත්ය. ඔහුගේ ලයිකා මොබයිල් සමාගම හරහා යෙදවූ මුදල් වලින් පසුගිය වසරේදී මෙම ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටිං කොම්පැනි සමාගමේ කොටස් මිලදී ගැනීමක් සිදු විය. එහිදී අලිරාජාට අයත් බෙන්හෝල්ඩිංග්ස් වෙත ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටිං කොම්පැනි සමාගමේ 60%කට ආසන්න කොටස් ප්‍රමාණයක් හිමි බව පැවසෙයි.

පසුව ඔහු ස්කයි මීඩියා නෙට්වර්ක් පෞද්ගලික සමාගමේ රස Fm නාලිකාවේ සංඛ්‍යාතය මිලට ගෙන එහි දෙමළ ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කරන්නට කටයුතු කළද තවමත් එය පරීක්ෂණ මට්ටමේ පවතියි. මෙම නාලිකාව බොහෝ විට අලිරාජා සුභාෂ්කරන්ගේ ලයිකා සමාගම යටතේ ක්‍රියාත්මක ආදවන් රේඩියෝ නාලිකාව විකාශය කිරීමේ සැලැසුමක් පැවතුණි.

කෙසේ වෙතත් අයත් ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටිං කොම්පැනි සමාගමේ හිමිකාරීත්වය බෙන් හෝල්ඩිංග්ස් සමාගම හරහා අලිරාජා සුභාෂ්කරන්ගේ ලයිකා මොබයිල් සමාගම ඊ.ඒ.පී. එදිරිසිංහ සමාගමට අයත් ඊ.ටී.අයි. ෆිනෑන්ස් යටතේ තිබූ ව්‍යාපාර රැසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්ව පැන නැග ඇත.

ඒ අනුව මෙම ඊ.ටී.අයි. ෆිනෑන්ස් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා ජනාධිපති කොමිසමක්ද පත් කරන ලදි.

කෙසේ වෙතත් බෙන් හෝල්ඩිංග්ස් සමාගම සිදු කළ බව පැවසෙන මෙම අත්පත් කරගැනීම හරහා එම සමාගම යටතේ ඇති ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටිං කොම්පැනි සමාගම මෙරට වැඩිම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ප්‍රමාණයක් අයත් මාධ්‍ය ජාලය බවට පත්වීමට නියමිතව ඇත. (මෙහිදී CRI ශ්‍රී ලංකා සහ CCTV/Newsi හි හිමිකාරීත්වය ලැබීම පිළිබඳව ගැටලුවක් ඇත.)

දැනට මෙරට විශාලතම මාධ්‍ය ජාලය වන්නේ මහරාජා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (MBC) පෞද්ගිලක සමාගමයි. එය සතු රූපවාහිනි නාලිකා තුනකි. (සිරස ටීවී, ශක්ති ටීවී, ටීවී 1) එසේම ගුවන් විදුලි නාලිකා හතරකි (සිරස Fm, ශක්ති Fm, Yes fm සහ Legends fm).

Visits: 220

Leave a Reply

Your email address will not be published. Required fields are marked *