කොරෝනා වෛරසය නිසා ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළට, රත්රන් මිල ඉහළට…

චීනය ප්‍රධානව ලොව තවත් රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකදී හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලෝක ආර්ථික තත්ත්වය දැඩි කඩා වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වෙයි. 

එහිදී මූලිකවම වෛරසය ව්‍යාප්තවීමත් සමගින්ම ඇතිව තිබෙන ගෝලීය අස්ථාවරත්වය ආසියාවේ මෙන්ම ලොව පුරාද කොටස් වෙළෙඳ පොළ රැසක් කඩා වැටීමට ලක් කර තිබේ. 

එසේම මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිලද පසුගිය සතියට සාපේක්ෂව දරුණු ලෙස අවප්‍රමාණය වී ඇත.

විශේෂයෙන්ම මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ ආර්ථිකය යම් නැවතීමකට ලක්වීමෙන් බොර තෙල් ඉල්ලුම පහත වැටීම මෙම තත්ත්වය ඇති වීමට මූලික හේතුව ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව අද (28) පෙරවරුව වන විට ලෝක වෙළෙඳ පොළෙහි බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.58ක් ලෙස සටහන්ව තිබුණි. එහෙත් පසුගිය ජනවාරි 21 වැනිදා වන විට එය ඩොලර් 65ක අගයක් ගෙන තිබුණි.

එසේම WTI බොරතෙල් බැරලයක මිල අද වනවිට ඩොලර් 52.86ක් දක්වා පහත බැස තිබේ. එය පසුගිය ජනවාරි 21 වැනිදා වන විට පැවතියේ ඩොලර් 58.58ක අගයකිනි.

උද්ගතව ඇති මෙම තත්ත්වයත් සමගින්ම සිය බොරතෙල් නිෂ්පාදනය යම් ප්‍රමාණයකින් කප්පාදු කිරීම සඳහා ඔපෙක් සාමාජික රටවල් මේ වනවිට තීරණය කර ඇත. 

ඉල්ලුම බොහෝ සෙයින් අඩුවීම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලට දරුණු ලෙස බලපෑම් කිරීම වැළැක්වීම මෙහි අරමුණ වී තිබේ. 

එහිදී 2020 අවසන් වන තුරුම මෙම බොරතෙල් නිෂ්පාදන කප්පාදුව සිදු කිරීමට ඔපෙක් සාමාජික රටවල් අවධානය යොමු කර ඇත. 

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80කට ආසන්න මට්ටමේ පවත්වාගෙන යාම මෙම ඔපෙක් සාමාජික රටවල අවශ්‍යතාව වී තිබේ.

මේ අතර, ලෝක වෙළෙඳ පොළේ රත්රන් මිල අද (28) දිනය වන විට කැපී පෙනෙන අන්දමකින් ඉහළයාමක් වාර්තා කර තිබුණි. 

ඒ අනුව රත්රන් අවුන්සයක මිල ඩොලර් 1,600 ක මට්ටමකට ඉහළ නැගි බව වාර්තා පවසයි. මෙය 2013 වසරෙන් පසුව රත්රන් මිල පත්වූ ඉහළම අගයද වෙයි. 

සාමාන්‍යයෙන් මෙවැනි අනාගත ගෝලීය අස්ථාවරත්වයක් ඇතිවීමත් සමගින්ම ජනතාව අතර ආයෝජනය පිළිබඳව ඉහළ කැමැත්තක් පවතින කරුණක් බවට රත්රන් පත්වීම නිසා හට ගන්නා රත්රන් ඉල්ලුම වැඩිවීම මේ තත්ත්වය ඇති කරලීමට හේතුව වී තිබේ. 

රත්රන්වලට අමතරව රිදී සහ ප්ලැටිනම් වටිනාකමද මේ වන විට ඉහළ ගොස් ඇත.

මෙම නව කොරෝනා වෛරස ව්‍යාප්තවීම තවදුරටත් එලෙසින්ම පැවතිය හොත් නුදුරේදීම ලෝක වෙළෙඳ පොළෙහි රත්රන් මිල ඩොලර් 2,000ක් දක්වා ඉහළ යාමේ අවදානමක්ද පවතින බව විශේෂඥයෝ පවසති. 

අවසන් වරට රත්රන් මිල ඩොලර් 1,900කට පත් වූයේ 2011 වසරේදී එනම් යුරෝපා ණය අර්බුදය හටගෙන මැදි කාල සීමාවේදීය.

මෙම නව කොරෝනා වෛරසය වැළැඳුණු පුද්ගලයෝ 3,000කට ආසන්න පිරිසක් චීනය තුළින් හමුව ඇති අතර, මරණයට පත්වූවන්ගේ සංඛ්‍යාව 80 ඉක්මවයි. 

නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් හමුවුණු ආසන්නතම රාජ්‍යයන් ලෙස ජර්මනිය සහ ශ්‍රී ලංකාව මේ වනවිට නම් වී තිබේ.

Visits: 26

Leave a Reply

Your email address will not be published. Required fields are marked *