සුළු හා මධ්‍ය පරිමාණ සහන පැකේජයට ඉල්ලුම් කිරීමේ අවසන් දිනය ජනවාරි 31

රුපියල් මිලියන 300 ට අඩු ණය ලබා ගෙන මේ වනවිට ඒවා ගෙවා ගත නොහැකිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබා දෙන සහන පැකේජය සඳහා ඉල්ලුම් කිරීමේ අවසන් දිනය ලබන ජනවාරි 31 බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දන්වා සිටියි.

මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අක්‍රීයව පවතින ණය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට යොමුවීම අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය දැනටමත් බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන වෙත දන්වා තිබේ. 

පසුගිය රජය සමයේ පැනවූ සංකීර්ණ බදු සහ බැංකු නීති රීති හේතුවෙන් මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකිවූ බව රජය චෝදනා කරයි.

ඒ අනුව වත්මන් ජනපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති රාමුව අනුව රුපියල් මිලියන 300ට වඩා අඩු ණය ලබා ගෙන තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත එම ණය ගෙවීම සඳහා යම් සහන කාලයක් ලබාදීමටත්, ණය අක්‍රීය වීම නිසා මේ වනවිට වෙන්දේසිවීමේ අවදානමට ලක්ව ඇති ඔවුන්ගේ දේපළ ආරක්ෂා කිරීමටත් රජය මැදිහත් විය.

රජය විසින් දැනුම් දී ඇති පරිදි අදාළ ණය ලබා ගත් ව්‍යවසායකයන් 2020 ජනවාරි 31 දිනට පෙර මෙම සහන පැකේජයට හිමිකම් ලබා ගැනීම සඳහා තමන් ණය මුදල ලබා ගත් අදාළ බැංකු ශාඛාව වෙත ලිඛිතව දැනුම් දීම අනිවාර්ය වේ.

එහිදී දැනට අක්‍රීය පවතින ණය වෙනුවෙන් අදාළ ව්‍යවසායකයා විසින් මූලික ණය මුදලින් 50%ක් ගෙවා ඇත්නම්, හිඟහිටි පොළිය සඳහා 50%ක පොලී සහනයක් ලබා දීමට කටයුතු යෙදේ. 

එසේම ණය ආපසු ගෙවීමට ඇති වර්තමාන කාලය දෙගුණ කිරීමද මෙම සහන පැකේජය යටතේ සිදු වෙයි. 

මීට අමතරව එම ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරික කටයුතු නැවත ඇරඹීම සඳහා මාස තුනක කාරක ප්‍රාග්ධනයක් ලබා දීමටද යෝජනා වී ඇති අතර, එම මුදල වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ණය සුරැකුම් ආවරණයක් අදාළ බැංකුව වෙත ලබා දෙන බවද අමාත්‍යාංශය පවසයි.

මේ අතරම, දැනට ණය ගෙවීම සක්‍රීයව පවත්වාගෙන යනු ලබන රුපියල් මිලියන 300 දක්වා ණය ලබා ගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට තම ණය ආපසු ගෙවීම සඳහා වසරක අතිරේක සහන කාලයක් ලබා දීමට යෝජනා වී තිබේ.

එසේම එවැනි ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වුවහොත් තවත් රුපියල් මිලියන 300ක් දක්වා අමතර ණය මුදලක්ද ලබා ගත හැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Visits: 37

Leave a Reply

Your email address will not be published. Required fields are marked *