බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය…

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත මේ යටතේ සංශෝධනය කිරීමට ලක් කෙරෙන අතර, මෙම නව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සරල, විනිවිද පෙනෙන සහ කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කරන බවට රජයේ පොරොන්දුව අනුව මෙම සංශෝධන ආදායම් පනත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම බදු සහන හරහා ආර්ථිකය පුනර්ජීවනය ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ. 

එහිදී පහසු බදු පරිපාලනයක් ප්‍රවර්ධනය කිරීමටත්, බදු ගෙවීම සඳහා ස්වයං අනුකූලතාවක් හඳුන්වාදීමටත් තීරණය කෙරී ඇත.

ඒ අනුව මෙම නව සංශෝධන යටතේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට රඳවා ගැනීමේ බද්ද (Withholding tax) රුපියල් 250,000 දක්වා නිදහස් කෙරී ඇත. 

එසේම උපයන විට ගෙවීමේ බද්ද (PAYE) සඳහා වන සීමාව රුපියල් 100,000 සිට 250,000 දක්වා ඉහළ දමා තිබේ. 

මීට අමතරව ලබන අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස තවත් බදු සහන කිහිපයක්ම ලබා දී ඇත.

ඒ අතර අනේවාසික සහ නේවාසික ගිණුම් සඳහා ලැබෙන පොලී ආදායම ආදායම් බද්දෙන් නිදහස් කිරීම, දේශීය සමාගමක් විසින් නිර්වාසික තැනැත්තෙකුට ගෙවන ලාභාංශ ආදායම් බද්දෙන් නිදහස් කිරීම, රසායනාගාර සේවා හෝ තත්ත්ව සහතික ලබා දීමේ සේවා මගින් නිර්වාසික තැනැත්තෙකු විසින් උපයන මුදල, ආදායම් බද්දෙන් නිදහස් කිරීම සහ ප්‍රදාන හෝ පරිත්‍යාග ලෙස යම් ආගමික ස්ථානයකට ලැබෙන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කිරීම යනාදියද ඇතුළත් වෙයි.

Visits: 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *