හිටපු EDB සභාපතිනිය කාර්ගිල්ස් සිලෝන් අධ්‍යක්ෂ මණ්ඩලයට

කාර්ගිල්ස් (සිලෝන්)හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස ඉන්දිරා මල්වත්ත මහත්මිය ලබන පෙබරවාරි 01 වැනිදා සිට සම්බන්ධ කරගන්නා බව එම සමාගම පවසයි. 

එහි අධ්‍යක්ෂ මණ්ඩලය මේ සඳහා වන අනුමැතිය පසුගිය ජනවාරි 20 වැනිදා ලබා දී තිබේ.

ඉන්දිරා මල්වත්ත මහත්මිය පසුගිය රජය සමයේ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළාය. 

එසේම ඇය එහි සභාපති ධුරයට පත් වූ පළමු කාන්තාව බවටද ඉතිහාසයට එක්ව සිටියි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය ලබා ඇති ඉන්දිරා මල්වත්ත මහත්මිය ආර්ථික විද්‍යාව සහ භූගෝල විද්‍යාව පිළිබඳව මිශ්‍ර උපාධිධාරිණියකි.

1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය හා සම්බන්ධ වී ඇති ඇය ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ලංකා තේ ප්‍රවර්ධන කාර්යාංශයේ රාජකාරි කටයුතු කර ඇත. 

එසේම ඇය රජයේ මුල් පෙළේ අපනයන ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද වසර 40කට අධික කාලයක් පුරා අත්දැකීම් සහිත තැනැත්තියකි.

මීට පෙර ඇය ජාතික ස්වර්ණාභරණ අධිකාරිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ඩිවෙලොප්මන්ට් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම යනාදියේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කර තිබේ. 

එසේම ඇය ජාතික ඇසුරුම් මධ්‍යස්ථානයේ සහ බිම්මල් සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිවරිය ලෙසද කටයුතු කර තිබේ.

2015 වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දිරා මල්වත්ත මහත්මිය අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් වූවාය.

ඇගේ නායකත්වය යටතේ මෙරට තුළ ජාතික අපනයන ප්‍රතිපත්තියක් සකස් කරගැනීම සඳහාද කටයුතු සැලසිනි.

2019 ජනාධිපතිවරණය අවසන් වීමත් සමගම නොවැම්බර් 18 වැනිදා එය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

Visits: 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *