2020 සඳහා බදු ඉලක්කයක් ලබා දීමට රජය තවත් කල් ගනී….

වත්මන් රජය 2020 වර්ෂය සඳහා මෙතෙක් කිසිදු බදු ඉලක්කයක් තමන් වෙත ලබා දී නැතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නදුන් ගුරුගේ මහතා පවසයි.

පසුගියදා එම දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කර තිබේ. 

ඒ අනුව මේ දක්වා 2020 වසර සඳහා බලාපොරොත්තු වන බදු ආදායම් පිළිබඳව අවසන් වාර්තාවක් මේ දක්වා සකස් කර නැති බව පෙන්වා දෙන කොමසාරිස්වරයා, ඒ සඳහා වර්තමාන අගමැතිවරයා යටතේ පවතින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් සහ නිර්දේශ අවශ්‍ය බවද පෙන්වා දෙයි. 

කෙසේ වෙතත් 2019 වසර දෙස බැලූ විට එවක පැවැති රජය තමන් වෙත ලබා දුන් රුපියල් බිලියන 799ක බදු ඉලක්කය රුපියල් බිලියන 14ක අඩුපාඩුවක්ද සහිතව අවසන් කිරීමට තමන්ට හැකි වූ බව එම දෙපාර්තමේන්තුව පවසයි. එම වසරේදී ඔවුන් රැස් කරගෙන ඇති සමස්ත බදු ආදායම රුපියල් බිලියන 785 කි.

මෙය 2018 වසරේදී දෙපාර්තමේන්තුව උපයා ගත් රුපියල් බිලියන 650ක් වූ බදු ආදායමට අනුරූපව 21%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව මෙය දෙපාර්තමේන්තුව අතින් ලැබූ ජයග්‍රහණයක් විය.

එහිදී විශේෂයෙන්ම පසුගිය වසරේදී අලුතින් විවෘත කෙරුණු 10,000කට අධික බදු ලිපිගොනු ප්‍රමාණය මෙම බදු එකතු කිරීම වර්ධනය සඳහා හේතු වී තිබේ. 

ඒ අතරින් මෙතෙක් බදු නොගෙවා සිටි ඉහළ ආදායම් ලබන අමතර පන්ති ගුරුවරුන් ගෙන් බදු අයකරගැනීමට හැකි වීම දෙපාර්තමේන්තුව ලැබූ ජයග්‍රහණයක් විය.

එසේම උපයන විට බදු නොගෙවා සිටි වෛද්‍යවරුන් ඇතුළු තවත් වෘත්තිකයන්ද මෙම බදු දැලට හසු කරගැනීමට හැකි විය. 

මීට අමතරව සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගැනීමේදී ප්‍රාග්ධන බද්ධක්ද අය කෙරිණි.

මෙරට තුළ 18%ක් සහ 82%ක් ලෙස පැවැති ඍජු බදු සහ වක්‍ර බදු අනුපාතය, 40%ත් 60%ත් දක්වා මට්ටමකට ගෙන ඒම මෙලෙස පෙර රජය මගින් බදු අය කිරීම දැඩි කිරීමේ අරමුණ විය. 

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගෙන වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙම සංකීර්ණ බදු සරල කිරීමටත්, දැඩි ලෙස බදු අය කරගැනීම නිසා කඩා වැටී ඇති ව්‍යාපාර යළි නගාසිටුවීමට සදහා සහන ලබාදීමත් යනාදී ලෙස කෙටි කාලීන සහන සැලසීම් රැසක්ම හඳුන්වාදීමට පියවර ගත්තේය. 

ඒ අනුව, එතෙක් ක්‍රියාත්මක කරමින් තිබූ වැට් බදු ප්‍රතිශතය 15% සිට 8%දක්වා අඩු කිරීමට කටයුතු කිරීමත්, උපයන විට ගෙවන බදු (PAYE TAX) සදහා වන ආදායම් සීමාව ඉහළ නැංවීමත්, ඉදිකිරීම් සඳහා වන බදු 28% සිට 14% දක්වා අඩු කිරිමත්, දුරකතන සන්නිවේදන ගාස්තු සඳහා අය කර තිබූ බදු ඉවත් කිරීමත්, ජාතිය ගොඩනැගීමේ බදු ඉවත් කිරීමත්, රඳවා තබා ගැනීමේ බදු ඉවත් කිරීමත්, ප්‍රාග්ධන බදු ඉවත් කිරීමත් මෙලෙස 2020 වසරේදී බදු ආදායම අඩු කරවීමට හේතු වී තිබේ. 

මේ අතරින් උපයන විට ගෙවන බදු සදහා වන ආදායම් සීමාව ඉහළ නැංවීම හේතුවෙන් එතෙක් බදු ගෙවීම් ලැයිස්තුවට ඇතුළත්ව සිටි පුද්ගලයන් සහ ආයතන 50,000කට ආසන්න ප්‍රමාණයකගේ බදු ලිපි ගොනු අක්‍රිය කිරීමක්ද සිදු විය. 

ඒ අනුව ඊට දින කිහිපයකට පසුව බදු ගෙවීම සදහා කැමැති පිරිස් වෙත ස්වේච්ඡාවෙන්ම ඒ සදහා ඉදිරිපත් වන ලෙසට නිවේදනයක් නිකුත් කිරීමටද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සිදු විය. 

මෙම බදු සහන පිළිබඳව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් සටහන්ව තිබුණි. එවර ඊට ප්‍රතිචාර දැක්වූ පසුගිය රජය යටතේ මුදල් අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා, මෙම වැට් බදු අඩු කිරීම හරහා මෙරට බදු ආදායම වෙත රුපියල් බිලියන 350ක් අහිමි වන බව පවසා සිටියේය. 

එසේම උපයන විට ගෙවන බදු සඳහා වන ආදායම් සීමාව ඉහළ නැංවීම සඳහා තවත් රුපියල් 62ක බදු ආදායමක් අහිමි වන බවත්, ඒ අනුව බදු ආදායමේ සමස්ත අහිමිවීම රුපියල් බිලියන 415ක් බවත් හිටපු මුදල් අමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කර තිබුණි.

Visits: 21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *