සංචාරක කුලී රථ සේවාව සහ සංචාරක මාර්ගෝපදේශ රියදුරන් නියාමනයට වැඩපිළිවෙලක්…

කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පැමිණෙන සංචාරකයන් වෙත ප්‍රවාහන පහසුකම් සලසන සංචාරක කුලී රථ සේවා සහ එහිදී සැපයෙන සංචාරක මාර්ගෝපදේශ රියදුරු සේවාව වඩාත් විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය කටයුතු සකස් කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ගුවන් තොටුපොළ සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ නියෝජිතයන් අතර හමුවකදී මේ කරුණු සාකච්ඡා කෙරී ඇත.

ඒ අනුව සංචාරක කුලී රථ සේවා සපයන ඇතැම් ආයතන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කරවීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. 

එසේම මෙම සේවාව ලබා දෙන රියදුරන් වෙත නිල ඇදුමක්, හැදුනුම්පතක්, ගුවන් තොටුපොළට පැමිණීමේ හා පිටවීමේ විශේෂ අවසර පත්‍රයක් සහ සංචාරකයන්ගෙන් අය කරන නිශ්චිත මිල ක්‍රමයක් හදුන්වාදීමටද කටයුතු සැලසුම් කෙරී ඇත. 

මීට අමතරව එම ව්‍යාපාරයේ නිරත වාහන වෙන ම හදුනාගැනීමට පහසු වන පරිදි එම වාහන සන්නාමකරණය කිරීමටද අමාත්‍යාංශය අපේක්ෂා කර සිටියි.

එහිදී මෙම වාහනවල ප්‍රමිතිය මාසිකව පරීක්ෂා කිරීමටත්, මෙම වෘත්තියේ නිරත රියදුරන් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද ඇමතිවරයා සදහන් කර තිබේ. 

එසේම මෙම සංචාරක මාර්ගෝපදේශ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

විශේෂයෙන්ම මෙම සංචාරක රියදුරන් සහ මාර්ගෝපදේශකයන් ලියාපදිංචි කර ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් සහ සහතික පත්‍රයක් ලබා දීම වත්මන් ජනපතිවරයාගේ වැඩපිළිවෙල තුළ ඇතුළත්ව ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Visits: 35

Leave a Reply

Your email address will not be published. Required fields are marked *