ශ්‍රී ලංකාව ගෝලීය ඇගලුම් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය කරන්නැයි මුල් පෙළේ ඇගලුම් අපනයනකරුවෝ ඉල්ලති…

ගෝලීය ඇගලුම් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරන්නැයි මෙරට ප්‍රධාන පෙළේ ඇගලුම් අපනයනකරුවෝ ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටිති. 

ආයෝජන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා සමගින් පසුගියදා සිදුකළ සාකච්ඡාවකදී ඔවුන් මෙම ඉල්ලීම කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ (JAAAF) සභාපතිවරයා සහ මහලේකම්වරයා මෙන්ම MAS, Brandix, Hidaramani, EAM Maliban ටෙක්ස්ටයිල්ස්, ස්ටාර් ගාර්මන්ට්ස් සහ ඔරිජිනල් ඇපරල් යන මෙරට ප්‍රධාන පෙළේ ඇගලුම් අපනයනය සමාගම්හි නියෝජිතයන් සහභාගි වී තිබේ.

මෙහිදී ඇගලුම් අපනයනකරුවන් මෙරට ඇගලුම් නිෂ්පාදන ඉන්දියාව වෙත අපනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ සඳහා ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ එකඟතාවේ ඇති ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නිමි ඇඳුම් අපනයනය සඳහා වන බාධාව ඉවත් කරන ලෙස ඔවුන් මෙහිදී යෝජනා කර ඇත. 

ඊට පිළිතුරු දී ඇති සභාපතිවරයා ඒ පිළිබඳව වාණිජ දෙපාර්තමේන්තුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය සමගින් සාකච්ඡා කර ඇති බව සභාපතිවරයා එහිදී පවසා තිබේ.

එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇගලුම් සඳහා වඩාත් තිරසාර නිෂ්පාදන ගමනාන්තයක් බවට පත් කිරීමට අදාළ යෝජනාද තමන් සතුව ඇතැයි මෙම අපනයනකරුවෝ සභාපතිවරයාට පවසා ඇත. 

එසේම ඉතා ගුණාත්මක සේවක භාවිතයක් අනුගමනය කරමින් සහ කාබන් විමෝචනයෙන් තොර ඇගලුම් කර්මාන්තයක් මෙරට තුළ බිහිකර ගෝලීය වෙළෙඳ පොළ තුළ මෙරට ඇගලුම් කර්මාන්තය වඩාත් ශක්තිමත්ව තරගකාරී ලෙස ඉදිරියට ගෙන ඒම සම්බන්ධයෙන්ද ඔවුන් කරුණු දක්වා ඇත. 

මේ අතර, ඇගලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදිපිළි සපයා ගැනීම සඳහා දේශීය ආයතනයක් ගොඩනැගීම පිළිබඳවද අපනයනකරුවන් මෙහිදී කරුණු දක්වා ඇත.

මීට අමතරව එරාවුර්හිදී ඉදිකිරීමට යෝජිත ඇගලුම් නිෂ්පාදන කලාපය පිළිබඳවද ඔවුන් මෙහිදී අදහස් දක්වා ඇති අතර, ඒ හරහා නිෂ්පාදකයන් මෙම කර්මාන්තය වෙත ආකර්ෂණය වෙනු ඇතැයිද පෙන්වා දී තිබේ.

Visits: 67

Leave a Reply

Your email address will not be published. Required fields are marked *