ඩ්‍රෝන යානා පියාසර කරවීම සඳහා පනවා තිබූ තහනම ඉවතට…

මෙරට ගුවන් සීමාව තුළ තුළ ඩ්‍රෝන යානා පියාසර කරවීම සඳහා මාස අටකට ආසන්න කාලයක් පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

ඒ අනුව දැනට පවතින සාමාන්‍ය සිවිල් ගුවන් සේවා රෙගුලාසි යටතේ මෙම ඩ්‍රෝන යානා පියාසර කරවීමේ හැකියාව පවතින බව ඔවුන් සඳහන් කරයි.

පසුගිය 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වුණු පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව ආරක්ෂාව මූලික කරගනිමින් මෙම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කරවීම තහනම් කරවීමට බලධාරීන් පියවර ගත්තේය. 

ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය 2019 මැයි 05 වැනිදා නිකුත් කෙරිණි.

2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ 80 වැනි වගන්තිය යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව මෙම තහනම පැනවුණි. 

ඒ අනුව නියමුවන් රහිත ගුවන් යානා ඇතුළු ඩ්‍රෝන යානා ශ්‍රී ලංකා ගුවන් සීමාව තුළ ගුවන්ගත කිරීම තහනම් විය. 

මෙම ඩ්‍රෝන යානා පියාසර තහනම හේතුවෙන් අගතියට පත් වූ පාර්ශ්ව කිහිපයක් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවී කරුණු වාර්තා කිරීමක්ද සිදු කර තිබුණි. 

එහිදී සිනමා නිර්මාණකරුවන් සහ වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවන් ඇතුළු තවත් ඩ්‍රෝන යානා ක්‍රියාකරුවන් පිරිසක් මෙලෙස ලේකම්වරයා හමුවී සාකච්ඡා කර තිබේ. 

ගෙවුණු මෙම කාලසීමාව තුළදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් නිකුත් කළ නියමිත බලපත්‍රයක් රහිත ඩ්‍රෝන යානයක් ගුවන් ගත කිරීම පොලිස් අත්අඩංගුවට පත්වීමේ වැරැද්දක් බවටද පත්ව තිබුණි.

Visits: 34

Leave a Reply

Your email address will not be published. Required fields are marked *