ලංකා හොස්පිටල් සභාපති ධුරය එහි හිටපු අධ්‍යක්ෂවරයෙකුට

ලංකා හොස්පිටල්ස් හි නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රකට වෛද්‍යවරයෙකු වන විද්‍යා ජෝති වෛද්‍ය බන්දුල චන්ද්‍රනාත් විජේසිරිවර්ධන මහතා පත් කර ඇත. 

පසුගිය දෙසැම්බර් 27 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුව තිබේ. 

වෛද්‍ය විජේසිරිවර්ධන මහතා මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා හොස්පිටල්ස්හි සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී 2012 පෙබරවාරි 27 සිට 2015 පෙබරවාරි 24 දක්වා එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටි අයෙකි. 

මාතර රාහුල විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති විජේසිරිවර්ධන මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් සහ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් සිය උපාධි හිමි කරගෙන ඇත. 

පසුව රජයේ වෛද්‍යවරයෙකු ලෙස ඔහු වසර 33 කට අධික කාලයක් කටයුතු කර තිබේ. අනතුරුව ඒ මහතා පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රය වෙත එකතු වී ඇත.

වෛද්‍ය විජේසිරිවර්ධන මහතා වෛද්‍ය ක්ෂේත්‍රය වෙත සිදු කළ සේවය වෙනුවෙන් 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විද්‍යා ජෝති සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා බැංකුවේ පරිපාලිත සමාගමක් වන ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් සමාගම හරහා ලංකා හොස්පිටල්ස්හි කොටස් අතරින් 70%ක් රජය සතුවන අතර, 29%ක් ෆොර්ටිස් ග්ලෝබල් හෙල්ත්කෙයාර් සතු වෙයි.

Visits: 39

Leave a Reply

Your email address will not be published. Required fields are marked *