ඔටාරා සිංගර් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වීම නිල වශයෙන් දැනුම් දෙයි

සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක වූ ඔටාරා ගුණවර්ධන මහත්මිය පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිට එම ධුරයෙන් ඉවත්ව ඇති බව එම සමාගම පසුගියදා නිල වශයෙන් දැනුම් දී තිබේ. 

ඇය විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරියක ලෙස සිංගර් (ශ්‍රී ලංකා) අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළාය. 

ඒ අනුව සිංගර් (ශ්‍රී ලංකා) සමාගම මගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත මේ පිළිබඳව ලිපියක් මගින් දන්වා ඇත.

2019 වසරේ ඔක්තෝබර් 24 වැනිදා මෙම ඉවත්වීම පිළිබඳව එම සමාගම මගින් පළමුවරට කොටස් වෙළෙඳ පොල දැනුවත් කර තිබේ.

ඔටාරා ගුණවර්ධන මහත්මිය 2018 වසරේ අගෝස්තු මාසයේ පළමුවැනිදා සිට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ ධුරයට පත්වූවාය. 

එය එම සමාගමේ වසර 140ක ඉතිහාසය තුළ කාන්තාවක අධ්‍යක්ෂ මණ්ඩල ධුරයක් සඳහා පත් කෙරුණු පළමු අවස්ථාවද විය.

‘ඔඩෙල්’ සන්නාමයේ නිර්මාතෘවරිය මෙන්ම ‘ඔඩෙල්’ නිමි ඇඳුම් ජාලය හිමිකාරිය වූ ඔටාරා ගුණවර්ධන 2014 සැප්තැම්බර් 11 වැනිදා සිය සමාගමෙහි කොටස් අශෝක් පතිරගේ මහතාට අයත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් වෙත අලෙවි කළාය. අනතුරුව ‘එම්බාර්ක්’ නමින් ඇය අලුතින් සන්නාමයක් සමගින් යළිත් වෙළෙඳ පොළට පිවිසියාය. 

සිංගර් ශ්‍රී ලංකා සමාගම මේ වනවිට ධම්මික පෙරේරා මහතා යටතේ පවතී. 

2017 වසරේදී ඔහු තමන්ට අයත් හේලීස් ගෘප් සර්විසස් (පෞද්ගලික) සමාගම මගින් සිංගර් (ශ්‍රී ලංකා) හි කොටස් 61.73 .ක් රුපියල් බිලියන 11ක මුදලකට ලබා ගැනීමෙන් එලෙස සමාගමේ හිමිකාරීත්වයට පත්විය. 

ඔටාරා ගුණවර්ධන සිංගර් සමාගමේ අධ්‍යක්ෂ ධුරය සඳහා පත් වූයේ හේලීස් සමාගම සහ ධම්මික පෙරේරා සිදුකළ ආරාධනාවකට අනුවයි.

මේ වනවිට සිංගර් (ශ්‍රී ලංකා) හි අධ්‍යක්ෂ මණ්ඩලය, සභාපති මොහාන් පණ්ඩිතගේ, උප සභාපති ධම්මික පෙරේරා, කළමනාකාර අධ්‍යක්ෂ අසෝක පීරිස්, දීපාල් සූරියආරච්චි, සරත් ගනේගොඩ, හාර්ඩි ජමල්ඩීන්, දුමිත් එච්. ප්‍රනාන්දු, ජී.ජේ. වෝල්කර්, එස්.ගුඩ්මන්, ඩී.කේ.ඩී.එස්. විජේරත්න සහ කුමාර් සමරසිංහ යන අය පිරිසගෙන් සමන්විත වෙයි.

Visits: 36

Leave a Reply

Your email address will not be published. Required fields are marked *