LOLC Holdings වෙත ඩොලර් මිලියන 603ක් එකතු වීම ස්ථිර වෙයි

මෙරට සිටින ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉෂාර නානායක්කාර වෙත 80%ක කොටස් හිමි LOLC Holdings Plc සමාගම, කාම්බෝජියාව තුළ තමන් සතු ව තිබූ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන PRASAC Microfinance Institute හි කොටස් 70%ක් අලෙවි කර මේ වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 603ක ආදායමක් උපයා ගෙන ඇතැයි ස්ථිර වී තිබේ. 

අද පළ වුණු ඩේලි.එෆ්.ටී. පුවත්පත වෙත එම සමාගම මෙම ගනුදෙනුව පිළිබඳව කරුණු සදහන් කර තිබේ. 

ඒ අනුව මෙම ගනුදෙනුවට අදාළ සම්පූර්ණ මුදල අවස්ථා දෙකකදී LOLC Holdings වෙත හිමිවීමට යෝජනා කෙරී ඇත. 

ඒ අනුව ඩොලර් මිලියන 422ක මුදලක් මේ වසර සහ ඉදිරි වසර ඇතුළත එම සමාගම වෙත හිමිවීමට නියමිතව ඇති අතර, ඉතිරි ඩොලර් මිලියන 181ක මුදල වසර 2022 දී LOLC Holdings Plc වෙත හිමිවීමට නියමිතව තිබේ.

මෙම PRASAC Microfinance Institute සමාගම කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය ලෙස සැලකෙයි.

ඒ අනුව LOLC Holdings Plc හි පරිපාලිත සමාගමක් වන සිංගප්පූරුවෙහි පිහිටි LOLC International Ltd. සමාගම වෙත PRASAC Microfinance Institute හි මෙම 70% ක කොටස් හිමිව තිබුණි.

ඊයේ දිනයේදී ඊට අදාළ ගනුදෙනුව සිදුව ඇති බවත්, මෙහිදී දකුණු කොරියාවේ විශාලතම වාණිජ බැංකුව වන Kookmin බැංකුව සමගින් එම ගනුදෙනුවට අදාළ එකඟතාව අත්සන් තබා ඇති බවත් LOLC Holdings සමාගම පවසයි.

කෙසේ වෙතත් ඩොලර් මිලියන 603ක මුදල LOLC Holdings වෙත හිමිවීම සඳහා කාම්බෝජියානු ජාතික බැංකුවේ අවසන් අනුමැතිය මෙන්ම දකුණු කොරියාවේ මූල්‍ය සේවා කොමිසමේද අනුමැතිය හිමිවිය යුතුව ඇත.

LOLC Holdings හි පළමු විදෙස් ආයෝජනය ලෙස 2007 වසරේදී කාම්බෝජයේ මෙම PRASAC Microfinance Institute හි කොටස් මිලදී ගෙන ඇත. 

එරටට අමතරව මියන්මාරය, පිලිපීනය, ඉන්දුනීසියාව, පාකිස්තානය, සැම්බියාව සහ නයිජීරියාව තුළද LOLC සමාගම සිය ව්‍යාපාර පුළුල් කර තිබේ. එසේම කාම්බෝජය තුළද LOLC Cambodia Plc. ලෙසද LOLC Holdings සමාගමක් පවත්වාගෙන යන බව පවසයි.

මෙම ගනුදෙනුවත් සමගම LOLC Holdings හි වැඩිම කොටස් හිමි එහි උප සභාපතිවරයා වන ඉෂාර නානායක්කාර සතු වත්කම් ප්‍රමාණයද ඉහළ ගොස් තිබේ. 

එසේම පසුගිය සති දෙකේදී මෙරට කොටස් වෙළෙඳ පොළ තුළද LOLC Holdings හි කොටස් අගය කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදු විය.

Visits: 60

Leave a Reply

Your email address will not be published. Required fields are marked *